Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කබඩි ප්‍රශ්නය මානව හිමිකම් කොමිසමට යයි

කබඩි ප්‍රශ්නය මානව හිමිකම් කොමිසමට යයි

editorial - 2022 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා ගුවන් හමුදා කබඩි ක්‍රීඩා සමාජය තහනමට ලක් කිරීමෙන් සිදුව ඇතැයි කියන අපකීර්තියට සමාව ගත යුතු බව කියමින් ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ වත්මන් සභාපතිවරයාට හා ලේකම්වරයාට එරෙහිව ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.

මෙම සිදුවීම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් තමන්ට සිදුව ඇතැයි කියන අගතිය වෙනුවෙන් රුපියල් මිලියන පහක් ඔවුන්ගෙන් අය කර දෙන ලෙසත් එමෙන්ම සිය ක්‍රීඩා සමාජයට පනවා තිබෙන තහනම ඉවත් කරවා දෙන ලෙසත් ගුවන් හමුදා කබඩි ක්‍රීඩා සමාජයේ සභාපති පී.එන්. ප්‍රනාන්දු මහතා මානව හිමිකම් කොමිසම වෙත කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ප්‍රනාන්දු මහතා උක්ත තහනම යටතේ වසර පහක තහනමකට ලක්ව සිටින නිලධාරියෙකි.

මේ සම්බන්ධයෙන් කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා වෙත ලිපියක් යොමු කරන මානව හිමිකම් කොමිසන් සභාවේ ලේකම්වරයා මෙම පැමිණිල්ලට අදාළ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් තමන්ට සවිස්තරාත්මක වාර්තාවක් මෙම 7 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙසත් දන්වා තිබේ. 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 18 වැනි වගන්තිය යටතේ මෙම දැනුම්දීම කරන බවත් එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

කබඩි සම්මේලනය මෙම වසරේ ජනවාරි 7 වැනිදා පැවැත්වූ ජාතික කබඩි තරගාවලියේ කණ්ඩායම් සහභාගිත්වයේ ආකෘතිය වෙනස් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර එම තරගාවලියෙන් ඉවත්වීමට කටයුතු කළ ගුවන් හමුදා කබඩි ක්‍රීඩා සමාජය ඇතුළුව යුද හමුදා හා නාවික හමුදා සහ තවත් කබඩි ක්‍රීඩා සමාජ දෙකක් ඉන් නොනැවතී එතෙක් ජාතික කබඩි කාන්තා හා පිරිමි සංචිතවල කල් ගෙවූ ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒවායින් ඉවත් කර ගැනීමටද කටයුතු කළේය.

මේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා එහි කබඩි ක්‍රීඩා සමාජ තුන හා එහි සභාපතිවරුන් හා ලේකම්වරුන්ට එරෙහිව වසර පහක් බැගින් තහනමක් පැනවීමටත් කබඩි සම්මේලනය කටයුතු කළේය. කෙසේ වුවත් මේ දක්වා මෙම ප්‍රශ්නය විසඳී නැති අතර ත්‍රිවිධ හමුදා කබඩි ක්‍රීඩක ක්‍රීඩකාවන් වෙනුවෙන් ජාතික සංචිත සඳහා වාර්තා කිරීමෙන් වැළකී සිටිති.

ඒ අතර ඒ සම්බන්ධයෙන් කබඩි සම්මේලනය පාර්ශවයෙන් හා තහනමට ලක්වූ ත්‍රිවිධ හමුදා ක්‍රීඩා සමාජ පාර්ශව වෙතින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත එකිනෙකාට එරෙහිව පැමිණිලි කීපයක්ම ඉදිරිපත් විය. කෙසේ වුවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාගේ අධීක්ෂණයෙන් පත් කළ විශේෂ කමිටුවක් මගින් එම පැමිණිලි පදනම් කර ගනිමින් පැවැත්වූ විමර්ශනයේ වාර්තාවට අනුව ජාතික කබඩි පුහුණු සංචිතවලින් සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉවත් කර ගැනීම පිළිබඳව ත්‍රිවිධ හමුදා කබඩි ප්‍රධානීන්ට අවවාද කර තිබේ.

මේ අතර මෙම පැමිණිල්ලට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දීර්ඝව කරුණු දක්වමින් ලිපියක් යොමු කරන ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලේකම් ආර්. සහීවන් මහතා පී.එන්. ප්‍රනාන්දු මහතා ඉල්ලා ඇති සහන කිසිවක් ලබාදිය නොහැකි බවත් ඔහුගේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් අවධාරණය කර තිබේ.

ඒ  අනුව ඔහු ඉල්ලා ඇති පරිදි රුපියල් මිලියන පහක වන්දියක් ලබාදීම, පනවා තිබෙන තහනම ඉවත් කිරීම හා කබඩි සම්මේලනය මාධ්‍ය හරහා සමාව ගැනීම ප්‍රතික්ෂේප කරන බවත් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත යොමුකළ කරුණු දැක්වීමේ ලිපියේ සඳහන්වේ.


අදහස් (0)

කබඩි ප්‍රශ්නය මානව හිමිකම් කොමිසමට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.