Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩකයන් 5 කට විනය පියවර

ක්‍රීඩකයන් 5 කට විනය පියවර

ශනුක අරවින්ද - 2018 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරගාවලියකට සහභාගිවීම සඳහා ජාතික පාපන්දු සංචිතයෙන් පසුගිය බදාදා (30) නිදහස් කළ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් පස්දෙනා අද (3) වන විටත් නැවත සංචිතයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර ඇතැයි වාර්තා වේ.

එහිදී එම ක්‍රීඩකයන් පස්දෙනාට හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ නිලධාරින්ට එරෙහිව තහනමක් පැනවීමට ක්‍රියා කරනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

ආරක්ෂක සේවා පාපන්දු තරගාවලියෙන් තරගයකට සහභාගිවීම සඳහා පසුගිය බදාදා ජාතික සංචිතයෙන් නිදහස් කරන ලද ගුවන් හමුදා ක්‍රීඩකයන් පසුගිය බ්‍රහස්පතින්දා (31) පැවැති එම තරගයෙන් පසුව නැවත සංචිතයට වාර්තා නොකිරීමෙන් මෙම තත්ත්වය උද්ගතවී තිබේ. 

කොන්දේසි මත තරගයට සහභාගිවීම සඳහා නිදහස් කළ ගුවන් හමුදා ක්‍රීඩකයන් ඊයේ වනවිටත් ජාතික සංචිතයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට හා ගුවන් හමුදා පාපන්දු බලධාරීන්ට එරෙහිව වහාම විනය පියවර ගන්නා ලෙස ජාතික සංචිතයේ නිලධාරින් පාපන්දු සම්මේලනයට දැනුම් දී තිබේ.

ගුවන් හමුදා ක්‍රීඩකයන්ගේ හැසිරීම ජාතික සංචිතය පවත්වාගෙන යාමේ නීති රීති හා වගකීම්වලට පටහැනි බැවින් ඔවුන් තහනමකට ලක් කළ යුතු බවට එහිදී පාපන්දු සම්මේලනයට ජාතික සංචිතයේ නිලධාරීන් දැනුම් දී ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජ පාපන්දු පුහුණුකරු මෙන්ම හිටපු ජාතික පාපන්දු පුහුණුකරු සම්පත් පෙරේරා මහතා ඇතුළු එහි නිලධාරින් කීප දෙනෙකුට එරෙහිව ද එහිදී විනය පියවර ගනු ඇතැයි පාපන්දු ආරංචි මාර්ග සඳහන් කරයි.

ලබන සැප්තැම්බර් මාසයේ බංග්ලාදේශයේ ‘ඩකා’ නුවර දී පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු තරගාවලිය ඉලක්ක කරමින් බැද්දගාන ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථානයේ නේවාසිකගත කර තිබෙන ක්‍රීඩකයන් 33 දෙනකුගෙන් සමන්විත ජාතික පාපන්දු සංචිතය ලබන ජුලි 8 වැනිදා සති දෙකක පුහුණු සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව යාමට සූදානමින් සිටියි. එම සංචිතයේ ක්‍රීඩකයන් 23 දෙනකුගේ කණ්ඩායමක් ජපන් පුහුණු සංචාරය සඳහා සහභාගිවීමට නියමිතය.

ආරක්ෂක සේවා පාපන්දු තරගාවලියේ පසුගිය බ්‍රහස්පතින්දා පැවැති තරගයේ දී යුද හමුදා කණ්ඩායම විසින් ගුවන් හමුදා කණ්ඩායම ගෝල 3-1 කින් පරාජය කර තිබේ. ජාතික සංචිතයට ඇතුළත් ගුවන් හමුදා ක්‍රීඩකයන් පස්දෙනාගෙන් දෙදෙනකු කලින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා කළ අය වෙති.

ගුවන් හමුදා කණ්ඩායම සමඟ පැවැති තරගය සඳහා නිදහස් කළ යුද හමුදා ක්‍රීඩකයන් එය නිමාවීමෙන් පසුව නැවත ජාතික සංචිතයට වාර්තා කර තිබේ.


අදහස් (0)

ක්‍රීඩකයන් 5 කට විනය පියවර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.