Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 කට කොරෝනා

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 කට කොරෝනා

editorial - 2021 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

කොවිඩ් තෙවැනි රැල්ලක අනතුර රට තුළ උද්ගතවීමෙන් පසුව මේ දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 දෙනකුට ආසන්න පිරිසක් කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ හේතුවෙන් ක්‍රීඩා ඉසව්  ගණනාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෛනික පුහුණුවීම් අඩාල වී තිබෙන අතර ඒවායෙහි ජාතික පුහුණු සංචිත ද කොවිඩ් වසංගතය  හමුවේ අත්හිටුවීමට සිදුව තිබේ.

කරාටේ, වොලිබෝල්, මලල ක්‍රීඩා, බර ඉසිලීම්, පාපන්දු, පැසිපන්දු, දැල්පන්දු, ක්‍රිකට්, කබඩි, මල්ලවපොර  ආදී ක්‍රීඩා ඉසව් රුසක පුහුණු සංචිතවල සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොවිඩ් ආසාදිතයන් ලෙස සොයා ගැනුණි. අලුත්ම හෙළිදරව්ව වන්නේ දකුණු  ආසියානු ශූරතා තරගාවලියට සූදානම්ව ඉකුත්දා සංචිතගත කළ ජාතික පාපන්දු පුහුණු සංචිතයේ ක්‍රීඩකයන් සිව් දෙනකුද පී.සී.ආර්. පරීක්ෂාවේදී කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

 මෙහි දරැණුතම සිදුවීම වන්නේ කොළඹ සුගතදාස හෝටලයේ  නේවාසික ගත කර සිටි ජාතික වොලිබෝල් සංචිතයේ ක්‍රීඩකයන් සියලු දෙනාම කොවිඩ් ආසාදිතයන් ලෙස තහවුරැ කර ගැනීමයි. එය බරපතළ අර්බුදයක් කළේ වොලිබෝල් සංචිතයේ ක්‍රීඩකයන් පිරිසකට කොවිඩ් රෝගය සමගම ඩෙංගු රෝගයද වැළඳීමෙන් රෝහල්ගත වීමට සිදුවීමයි.

ජාතික  වොලිබෝල් (පිරිමි) පුහුණු සංචිතයේ ක්‍රීඩකයන් කොවිඩ් හා ඩෙංගු රෝගී තත්ත්වයට ගොදුරුවීමෙන් මෙම 12 වැනිදා සිට 19 වැනිදා දක්වා ජපානයේ පැවැත්වෙන ආසියානු වොලිබෝල් (පිරිමි)  ශූරතා තරගාවලියෙන් ඉවත්වීමට ද ශ්‍රී ලංකාව කටයුතු කළේය. ඒ සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගත්තේ ද උස්බෙකිස්ථානයට එරෙහිව පැවැති කඩඉම් තරගය ජය ගනිමිනි.

දඩ මුදලකින් තොරව ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවත්වීමට ආසියානු වොලිබෝල් සම්මේලනය අවසර දුන් අතර ශ්‍රී ලංකාවේ ඉවත්වීමෙන් එම අවස්ථාව උස්බෙකිස්ථානයට මේ වනවිට ප්‍රදානය කර තිබේ.

 මේ පිළිබඳව ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ලාල් ඒකනායක මහතා මෙසේ පැවසීය.

“මේ කුමන තත්ත්වයක් මැද වුවත් ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ පුහුණුවීම් නවත්වන්න අප උපදෙස් දෙන්නේ නෑ. ජෛව බුබුළක රුකවරණ මැද ජාතික ක්‍රීඩා පුහුණු සංචිත පවත්වාගෙන යන්න අප තවදුරටත් උපදෙස් දෙනවා.“

“ඒ වගේම වයස 30ට අඩු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පළමුව අනුමත කරන්නේ ‘ෆයිසර්’ එන්නතයි. එන්නත්කරණයෙන් පස්සේ ජාතික පුහුණු සංචිත  වඩාත්  විශ්වාසයෙන් පවත්වාගෙන යන්න අපට හැකිවේවි.” යයිද ලාල් ඒකනායක මහතා පැවසීය.

මේ  අතර ලාල් ඒකනායක මහතා පවසන්නේ ඔක්තෝබර් 16-17 දෙදින ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දෙවැනි අදියරත් ඔක්තෝබර් 30-31 මලල ක්‍රීඩා පළමු තේරීම් තරගාවලියත් පැවැත්වෙන බැවින් ජාතික මලල ක්‍රීඩා සංචිතයන්හි අත්හිටවූ පුහුණුවීම්  නැවත ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය කර ඇති ඉල්ලීම සලකා බලන බවයි.

 


අදහස් (0)

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.