Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පමණක් ට්‍රිනිඩෑඩ් වෙත යති

ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පමණක් ට්‍රිනිඩෑඩ් වෙත යති

editorial - 2023 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

‘ට්‍රිනිඩෑඩ් හා ටොබෑගෝ’ රාජ්‍යයේ දී සිකුරාදා (4) ආරම්භ වූ හත් වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලට පිටත්ව යාමේදී නෙදර්ලන්තයේ ‘ඇම්ස්ටර්ඩෑම්’ ගුවන් තොටුපොළ හරහා එහි යාමට දැරූ ශ්‍රී ලංකා සමස්ත ක්‍රීඩා කණ්ඩායමේ උත්සාහය නෙදර්ලන්තය වීසා ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා අත්හැර දැමීමට සිදුවිය. ශ්‍රී ලංකා කණ්ඩායම ඇමරිකාවේ ‘නිව්යෝක්’ නුවර හරහා ට්‍රිනිඩෑඩ් වෙත ළඟාවීමට දැරූ උත්සාහය සාර්ථක වුවත් එහිදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ පුහුණුකරු හා ක්‍රීඩිකාවන් භාර නිලධාරිනියට ඇමරිකාවට ඇතුළුවීමේ වීසා නිකුත් කිරීම මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කිරීමෙන් එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් මෙම තරග සංචාරයට පිටත්ව ගොස් තිබේ.

2021 වසරේ දී පැවැත්වීමට නියමිතව තිබිය දී කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දමනු ලැබූ සිකුරාදා ආරම්භ වූ හත් වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල ලබන සිකුරාදා (11) දක්වා ට්‍රිනිඩෑඩ් හිදී පැවැත්වේ. වයස 21න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙන්වෙන මෙම යොවුන් ක්‍රීඩා උළෙලට රටවල් හා ජාතීන් 71 ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වෙති.

මෙම යොවුන් ක්‍රීඩා උළෙල මලල ක්‍රීඩා ඇතුළුව ක්‍රීඩා ඉසව් හතකට පමණක් සීමාවේ. ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා, වෙරළ වොලිබෝල් හා පිහිනුම් යන ක්‍රීඩා ඉසව් තුනකින් ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 16 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් නිර්දේශ කර ගනු ලැබීය. කෙසේ වුවත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ පුහුණුකරු ධුරයට නිර්දේශ කළ අනුර බණ්ඩාර මහතා හිටපු ශ්‍රී ලංකා සුපිරි මැදිදුර ධාවන ශූර සුගත් තිලකරත්න මහතාගේ පෞද්ගලික පුහුණුකරු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ අතර ඔහු මේ දක්වා රටවල් 26කට සංචාරය කර තිබුණත් ඇමරිකාව එරට හරහා ගමන් ගැනීමට වීසා නිකුත් නොකළ බැවින් ඔහුට ට්‍රිනිඩෑඩ් සංචාරය අත්හැර දැමීමට සිදු විය.

ඒ අතර ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය වන නදීෂා තිලකරත්න මහත්මියටත් ඒ හේතුවෙන් තරග සංචාරය අත්හැර දැමීමට සිදුවූවාය. නෙදර්ලන්තය හරහා ට්‍රිනිඩැඩ් රාජ්‍යයට ඇතුළුවීමට දැරූ උත්සහය අසාර්ථක වීමෙන් ශ්‍රී ලංකාවේ මෙම තරග සංචාරය සාර්ථක කර ගැනීම සංකීර්ණ මුහුණුවරක් ගත් බව ජාතික ඔලිම්පික් කමිටුව අවධාරණය කරයි.

මේ හේතුවෙන් කොළඹ – ඩුබායි - නිව්යෝර්ක් හරහා පැය 29ක කාලයක් ගෙවෙන දීර්ඝතම ගුවන් ගමනක් ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩා උළෙල පැවැත්වෙන ට්‍රිනිඩෑඩ් වෙත ළඟාවීමට සිදුවූ බව ද වාර්තාවේ. ඒ හේතුවෙන් එක් අයෙකු සඳහා වන ගුවන් ප්‍රවේශ පත්‍රයක වියදම ද රුපියල් ලක්ෂ 18ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊට හේතුවී ඇත්තේ නෙදර්ලන්තය හරහා එහි යාමට සූදානම් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මොහොතේ එය අසාර්ථක වීමෙන් පසුව නිව්යෝර්ක් හරහා යාමට පිරිමැසුම්දායක ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමේ අපහසුතාවක් ද පැන නැගී තිබීමය.

ඒ හේතුවෙන් අධික පිරිවැයක් දරා ව්‍යාපාරික පංතියේ ගුවන් ප්‍රවේශපත්‍ර මිල දී ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ. ඒ සඳහා වියදම් ලබාදී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය විසිනි.

මේ හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා වෙරළ වොලිබොල් කණ්ඩායම් ක්‍රීඩකයන් දෙදෙනා සෙනසුරාදා පෙරවරුවේ දී සිය පළමු තරගයට සහභාගි වී ඇත්තේ වෙහෙසකර ගුවන් ගමනක් ඔස්සේ ට්‍රිනිඩෑඩ්වලට ළඟාවී පැය කිහිපයක් ඉක්ම යාමට මත්තෙනි. සත්කාරක ට්‍රිනිඩෑඩ් සමග පැවති මෙම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල ඉතිහාසයේ මේ දක්වා ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා ඇතුළුව ක්‍රීඩා ඉසව් කීපයකින් රන් පදක්කම් 4ක් රිදී පදක්කම් 7ක් හා ලෝකඩ පදක්කම් තුනක් දිනා තිබේ. මීටර 4x100 (පිරිමි) ඉසව්වේ තරග වාර්තාව (තත්පර 40.85) මේ දක්වා පවතින්නේ ද ශ්‍රී ලංකාව සතුවය.

අවසන් වරට 2017 බහමාස් හිදී පැවති හයවැනි ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව රිදී පදක්කම් දෙකක් දිනා තිබේ. සංචාරක සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා සුළං ඔරු සංගමයේ විධායක නිලධාරි සරත් කූරගම මහතා කටයුතු කරයි. ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් එහි මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා මෙම සංචාරයට සහභාගිවී සිටියි.

ඡායාරූපය - ශ්‍රී ලංකා මලලක්‍රීඩා අනුග්‍රහයෙනි


අදහස් (0)

ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පමණක් ට්‍රිනිඩෑඩ් වෙත යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.