ක්‍රීඩා පාසල් සංවර්ධනයට කෝටි 10 ක්
අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව ක්‍රීඩා පාසල් හතක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 103 ක් හෙවත් රුපියල් කෝටි 10 ක මුදලක් ලබාදීමට මහාභාණ්ඩාගාරයේ අනුමැතිය ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා ඉතිහාසයේ පාසල් ක්‍රීඩා පාසල් වෙනුවෙන් මෙවැනි දැවැන්ත මුදලක් වැය කරන පළමු අවස්ථාව මෙය බව ද අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
මෙහි පළමු පියවර යටතේ වැලිමඩ මැදි මහ විදුහල, වලල ඒ. රත්නායක විදුහල සහ පෙරමඩුල්ල මැදි මහ විදුහලට මුදල් ලබාදීමට නියමිතය.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීමකට අනුව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්කර තිබුණි.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි දිස්ත්‍රික් 22 ම ක්‍රීඩා පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් මීට මාසයකට පමණ පෙර ආරම්භ කළේය. එම ක්‍රීඩා පාසල්වල සංවර්ධන කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ සෘජු මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වේ. ඒ අනුව එම සංවර්ධන කටයුතු සඳහා ශ්‍රමයට මුදල් වැය නොවන බව ද වැඩි දුරටත් දැනගන්නට තිබේ.
එම ක්‍රීඩා පාසල් සංවර්ධනය කිරීමට සමගාමීව 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ‘රෝඞ් ටු ඔලිම්පික්’ වැඩසටහන යටතේ ක්‍රීඩා පාසල්වලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1100 ක් ඇතුළත්කරගැනීමට නියමිතය.
ශ්‍රී ලංකාවේදී දිස්ත්‍රික් 22 ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන ‘රෝඞ් ටු ඔලිම්පික්’ ව්‍යාපෘතිය යටතේ සෑම දිස්ත්‍රික්කයකින්ම වයස අවුරුදු 12 ක් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25 බැගින් 50 දෙනකු තෝරාගැනීමේ කටයුතු මීට සති දෙකකට පෙර ආරම්භ කළේය. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා පාසල්වල 8 ශ්‍රේණියට ඇතුළත් කර සියලුම පහසුකම් ලබාදී වසර අටක පමණ කාලයකින් ජාත්‍යන්තර පදක්කම් දිනාගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීම ක්‍රීඩා අමාත්‍යංශයේ ඉලක්කය බවට පත්ව තිබේ.