Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා වැරැදි විමර්ශන පොලිස් ඒකකයේ කටයුතුවලට බාධා

ක්‍රීඩා වැරැදි විමර්ශන පොලිස් ඒකකයේ කටයුතුවලට බාධා

editorial - 2023 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පැමිණිලි 10 ක් පමණ මේ වනවිට විභාග කරමින් සිටින ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් විශේෂ ඒකකයේ දැනට සිටින කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීමෙන් එහි කටයුතුවලට බාධා පැමිණ තිබෙන බව වාර්තා වේ.

වසර 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ස්ථාපිත කරන ලද මෙම ඒකකය වසර 2019 පෙබරවාරි 11 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාර පරිශ්‍රයේ දී එවකට ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අතින් විවෘත කෙරුණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු, සහකාර පොලිස් අධිකාරිවරයකු සහ පොලිස් නිලධාරිනියන්ද ඇතුළුව මෙම ඒකකය පොලිස් නිලධාරින් 16 දෙනකුගෙන් සමන්විතව මුල් අවධියේ ක්‍රියාත්මක විය.

කෙසේවුවත් මේ වනවිට එහි නිලධාරින් ගණන අටකට සීමාවී ඇතැයිද වාර්තා වේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයකට උසස්වීම් ලබා මෙම ඒකකයෙන් ඉවත්ව යාමෙන් පසුව දැන් මෙහි ප්‍රධානියා ලෙස පත්වීම් ලබා සිටින්නේ සහකාර පොලිස් අධිකාරී ජයනාත් වනසිංහ මහතාය. ක්‍රිකට්, පාපන්දු හා හොකි දූෂණ චෝදනා සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිලි ගණනාවක් හැරෙන්නට වුෂු, මල්ලවපොර, බැඩ්මින්ටන් යන තවත් ක්‍රීඩා ඉසව් කීපයකට ඇතුළත් දූෂණ චෝදනා ගොනු කළ පැමිණිලි කීපයක්ද මේ වනවිට ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස්  ඒකකය විභාග කරමින් සිටින බව වාර්තා වේ.

පුළුල් බලතල සහිත මෙම පොලිස් ඒකකයේ විශේෂත්වය එහි පත් කිරීම් හා අනුයුක්ත කිරීම් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබුවත් ස්වාධීනව කටයුතු කරන ඒකකයක් ලෙස ඔවුන් වගකීම් දරන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට වීමයි.

මෙම ඒකකය ස්ථාපිත කිරීමෙන් පසුව මේ දක්වා ක්‍රීඩාවලට සම්බන්ධව ලැබුණු දූෂණ චෝදනා ඇතුළත් පැමිණිලි 60 කට වැඩි ගණනක් විමර්ශනය කර තිබේ. ඉන් බහුතරයක් විභාගකර අවසන්වීමත් පසුව නිගමන ලබාගැනීම සඳහා රජයේ නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

කෙසේවුවත් එසේ රජයේ නීතිපතිවරයාට යොමු කළ පැමිණිලි විමර්ශන ගණනාවක නිගමන ලබාදීමේ ප්‍රමාදයක් පවතින බවද මේ අතර වාර්තා වේ. ඒ අනුව නීතිපති උපදෙස් ලැබීමේ ප්‍රමාදයන් මෙන්ම කාර්ය මණ්‍ඩලය ප්‍රමාණවත් නොවීමෙන් ඒකකයේ කටයුතු පවත්වාගෙන යාමට බාධාවක් පැනනැගී ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

ඒ අතර මෙම පොලිස් ඒකකයට පත්වීම් ලැබීමට පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බොහෝ පිරිසක් තුළ කැමැත්තක් නැති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


අදහස් (0)

ක්‍රීඩා වැරැදි විමර්ශන පොලිස් ඒකකයේ කටයුතුවලට බාධා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.