Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා වැරැදි විමර්ෂණ 4ක් කඩිනම් කරයි

ක්‍රීඩා වැරැදි විමර්ෂණ 4ක් කඩිනම් කරයි

editorial - 2022 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පැමිණිලි  හතරක් සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙන  විමර්ශන කඩිනමින් පවත්වා අවසන් කිරීමට නව වසරේදී ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය සැරසෙයි.

ඒ අනුව දැනට විමර්ශන  සිදු කෙරෙමින් පවතින එල්.පී.එල්. තරග පාවාදීමකට අනුබල දුන් බවට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාට නැගෙන චෝදනාව, ලෝක ශූරතා මල්ලව පොර තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරු නෝර්වේ රාජ්‍යයේදී අතුරුදන්වීමේ සිදුවීම, ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන්ට මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් නැගෙන චෝදනා හා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට නේපාලයේ පැවැති 2019 සාෆ් ක්‍රීඩා උළෙලේදී තරග පාවාදීමක් සම්බන්ධයෙන් නැගෙන චෝදනාව ඇතුළුව එම සිදුවීම් ගැන කඩිනමින් විමර්ශන අවසන් කර නීතිපතිවරයා වෙත වාර්තා ලබාදීමට ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය  තීරණය කර තිබේ.

නෝර්වේ රාජ්‍යයේදී පසුගියදා පැවති ලෝක මල්ලවපොර ශූරතා තරගාවලියට සහභාගි වූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරවරයා ‘ඔස්ලෝ නුවරදී අතුරුදන්වීම සම්බන්ධයෙන් දැනට කෙරෙන විමර්ශන සඳහා අන්තර් ජාතික පොලිසියද හවුල් කරගෙන තිබේ.

මේ වනවිට විමර්ශන ඒකකය සංචාරයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්, බලධාරින්, මල්ලවපොර සම්මේලනයේ ප්‍රධානීන්ගෙන් හැරෙන්නට අතුරුදන්ව සිටින කළමනාකාරවරයාගේ බිරිඳගෙන්ද ප්‍රශ්න කර සාක්ෂි සටහන් කර ගෙන තිබේ.

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත්  හේවාවිතාරණ මහතාගෙන් ඒ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා (7) දිනයේත් විමර්ශන ඒකකය  සාක්ෂි සටහන් කරගෙන තිබේ.

වසර 2016 රියෝ ඔලිම්පික් තරග සංචාරයේදී රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් සිදුවී තිබේ දැයි විමර්ශන ඒකකය සිදු කෙරෙන තවත් විමර්ශනයකි.

 ක්‍රීඩා අමාත්‍යාංශ පාර්ශවයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත්වීමේදී ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන් කීපදෙනකු අදාල සංචාරය සඳහා වියදම් ලැබී තිබියදී ක්‍රීඩා අමාත්‍යාංශයෙන්ද එම වියදම් ලබාගැනීමට කටයුතු කර ඇතැයි එහිදී නැගෙන චෝදනාවකි.

එහෙත් වාර්තා වන පරිදි ඔලිම්පික් කමිටු ප්‍රධානීන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් එසේ ලබාගත් බව කියන වියදම් ආපසු බාරදීමට කටයුතු කර ඇතැයි පැවසේ. මේ සම්බන්ධයෙන් එහි ප්‍රධානීන්ගෙන් කට උත්තර ලබා ගැනීමට විමර්ශන ඒකකය කටයුතු කර තිබේ.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාට එල්ල වී තිබෙන එල්.පී.එල්. තරග චෝදනාව සම්බන්ධයෙන් ඔහුගෙන් ලබා ගත් කටඋත්තර වලින් පසුව ඔහුට වත්කම් ප්‍රකාශයක් ලබාදෙන ලෙස විමර්ශන ඒකකය නියම කර තිබුණි.

එම වත්කම් ප්‍රකාශය මේ වනවිට ඔහු බාරදී තිබෙන අතර විමර්ශන තවදුරටත් සිදුවෙමින් පවතී. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට එල්ලවී තිබෙන තරග පාවාදීමේ චෝදනාව හමුවේ අන්තර්ජාතික පාපැදි සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානය වුණු පුහුණු පාපැදි දෙකක් විමර්ෂණ අවසන් වන තෙක් තවදුරටත් සිය භාරයේ රඳවා ගැනීමට ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකය කටයුතු කර තිබේ.

 එහිදී අන්තර් ජාතික පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය  ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට එල්ලවී තිබෙන චෝදනාවට මැදිහත් වෙමින් ක්‍රීඩා ඇමැති  නාමල් රාජපක්ෂ මහතා දැනුම්දී තිබුණේ එවැනි තරග පාවාදීමක් ගැන තමන්ට තොරතුරු හෙළි නොවන බැවින් වහාම එම පුහුණු පාපැදි දෙක මෙරට පාපැදි සම්මේලනයේ ප්‍රධානීන්ට බාරදිය යුතු බවයි.

එසේ කිරීමට නොහැකි නම්  එය තමන්ට ආපසු බාර දෙන ලෙසද ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමැතිවරයාට අන්තර් ජාතික පාපැදි සම්මේලනය යොමුකර තිබූ ලිපිනයක දන්වා තිබුණි.

කෙසේ වුවත් එහිදී ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය ප්‍රකාශ කළේ තමන් කටයුතු කරන්නේ රටේ නීතියට අනුව බැවින් බාහිර පාර්ශවවලින් ලබාදෙන විධානයක් ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී නැති බවයි.

පාර්ලිමේන්තුවේ අනුමත 2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ ස්ථාපිත ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය පුළුල් බලතල සහිතව ස්ථාපිත කළ ක්‍රීඩා අමාත්‍යාංශයට වගකියන පොලිස් ඒකකයකි. එහි වත්මන් ප්‍රධානියා වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතාය.

- 223


අදහස් (0)

ක්‍රීඩා වැරැදි විමර්ෂණ 4ක් කඩිනම් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.