Last Update  :  2025-03-14 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා සමාජ 22 ක් නිලවරණයෙන් දොට්ට

ක්‍රීඩා සමාජ 22 ක් නිලවරණයෙන් දොට්ට

editorial - 2024 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජූලි  24 වැනිදා  කොළඹ  රීඩ් මාවත ඩන්කන් වයිට්  ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට යෝජිත  ශ්‍රී  ලංකා පාපැදි  සම්මේලනයේ  නිලවරණයෙන් (2024  - 25) ක්‍රීඩා  සමාජ 22 ක් නිලවරණ කමිටුව  විසින් ඉවත් කර තිබේ.ඒ අනුව මෙවර නිලවරණය ක්‍රීඩා සමාජ 35 කට පමණක්  සීමාවී තිබේ.

පාපැදි  සම්මේලනයේ  ව්‍යවස්ථාව  උල්ලංඝනය  කිරීමේ චෝදනාව මෙම ක්‍රීඩා  සමාජ වෙත ප්‍රධානම වශයෙන්  එල්ලවී තිබේ.එයින් 16ක්ම නිලවරණයෙන් ඉවත් කර ඇත්තේ පාපැදි සම්මේලනයේ කවුන්සිල් රැස්වීම්  අවම තුනකට සහභාගි නොවීමේ චෝදනාව මතය.එය  සම්මේලනයේ  ව්‍යවස්ථාව  උල්ලංඝනය  කිරීමක් ලෙස දක්වා තිබේ.

කෙසේවුවත්  අගතියට පත් පාර්ශ්වයන් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු  මහතා මුණ ගැසී ඒ පිළිබඳව  දැනුවත් කිරිමට තීරණය කර තිබේ.ඒ පිළිබඳව  ක්‍රීඩා සමාජ නියෝජිතයන්  පිරිසක් ‘ලංකාදීප’යට පැවැසුවේ නිලවරණ කමිටුව යුක්ති සහගත  නොවන ආකාරයෙන් හා පක්ෂග්‍ර්‍රාහිව කටයුතු කර තිබෙන බවයි.

ඒ අනුව මෙම ප්‍රශ්නයට ක්‍රීඩා ඇමැතිවරයා   මැදිහත්  නොවන්නේ නම්  තමන් අධිකරණය හමුවට යන බවත් එහිදී ඔවුහු පැවැසූහ.

විශ්‍රාමලත්  මහාධිකරණ  විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් මගින් මෙවර නිලවරණය  මෙහෙයවයි.

පාපැදි  සම්මේලනයේ  නිලවරණය  පවත්වා අවසන් කෙරෙන තෙක් එහි ප්‍රධාන  සම්බන්ධ්කරණ  නිලධාරීයා ලෙස කටයුතු කරන එහි හිටපු ලේකම් නලින්  අධිකාරිආරච්චිගේ  මහතා පැවැසුවේ මෙවර නිලවරණය  වඩාත්ම සාධාරණව සංවිධානය කර ඇති බවත් පංච පුද්ගල කමිටුවක්  දක්වා නිලවරණ කමිටුව වර්ධනය කිරීමෙන් එය වඩාත් තහවුරු කර ඇති බවත්ය.

මේ අතර සභාපති  ධූරය  සදහා  හිටපු සභාපති  වෛද්‍ය  අමල් හර්ෂ ද සිල්වා, හිටපු උප සභාපති වරුන් වන  බී.ජේ.සුමනසේකර හා  චන්දන  කදනාආරච්චි හා හිටපු ලේකම් නලින් අධිකාරිආරච්චිගේ  යන මහත්වරුන්ගේ නාම යෝජනා පිළිගෙන තිබේ.

    එහෙත් සභාපති  අපේක්ෂත්වය ප්‍රතික්ෂේප වූවන් අතර  පාපදි සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති  කේ.පී.පී.පතිරණ මහතාද වෙයි. ඔහු වසර අටක කාලයක් සභාපති  ධූරය දරා ඇති බැවින් ක්‍රීඩා පනතේ නව රෙගුලාසි  අනුව ඔහුට නැවැත සභාපති ධූරයට නාමයෝජනා  ඉදිරිපත් කළ නොහැකි  බව එහිදී ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප  කරමින් නිලවරණ කමිටුව පෙන්වාදී තිබේ.

ශ්‍රී  ලංකා පාපැදි  සම්මේලනය නිලවරණය  (2024 - 25) පැවැත්වීමට මිට පෙර ගත් උත්සහයන් කීපයක්ම අසාර්ථක  වීමෙන් පසුව එහි කටයුතු ක්‍රීඩා  අධ්‍යක්ෂ  ජනරාල්වරයාගේ භාරයට පත් කරමින් ලබන ජූලි 24 වැනිදා  පෙරවරු 10 ට ක්‍රීඩා  අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී නිලවරණය  කැදවීමට කටයුතු යොදා තිබේ.

මෙහි නිලවරණය ( 2024 - 25) නියමාකාරයෙන්  පවත්වා අවසන් කිරීමට නියමිතව තිබුණේ පසුගිය  මැයි 31 වැනිදාට පෙරය.මීට පෙර පැවැති නිලවරණ ආරවුල් හමුවේ ශ්‍රී  ලංකාවේ අන්තර් ජාතික පාපැදි  සම්මේලනයේ  සාමාජිකත්වය පිළිගැනීමේ සීමා තවදුරටත් බලපැවැත් වේ.

කෙසේවුවත්  මේ හේතුවෙන්  ජාතික ඔලිම්පික්  කම්ටුවේ   පාපැදි සම්මේලනයේ  සාමාජිකත්වය අරභයාත්  මේ වන විට  ගැටළුකාරි තත්වයක් නිර්මාණයවී තිබේ.


අදහස් (0)

ක්‍රීඩා සමාජ 22 ක් නිලවරණයෙන් දොට්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.