Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කැරිබියන් ප්‍රීමියර් ලීග් අගෝස්තු 28 දා සිට

කැරිබියන් ප්‍රීමියර් ලීග් අගෝස්තු 28 දා සිට

editorial - 2021 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේ (2021) කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය අගෝස්තු මස 28 වැනිදා ආරම්භ වන බවත්, එහි අවසන් මහ තරගය සැප්තැම්බර් මස 19 වැනිදා පැවැත්වෙන බවත් තරගාවලියේ සංවිධායක කමිටුව තහවුරු කරයි. ඉකුත් වසරේදී (2020) මෙන්ම මෙම වසරේදීද තරගාවලිය ඡෛව ආරක්ෂක බුබුලක පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.

ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝහිදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය ශාන්ත කිට්ස් සහ නෙවිස්හිදී පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා ඇත. ඒ අනුව තරගාවලියේ තරග සියල්ල (33) ශාන්ත කිට්ස් සහ නෙවිස්හි වෝනර් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මෙන්ම ක්‍රීඩා ලෝලීන්ගේද අවධානය දිනාගත් තරගාවලියක් වන කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ  2020 වසරේ නරඹන්නන් සංඛ්‍යාව මිලියන 523 ක් ලෙස ගණන් බලා තිබේ. එය 2019 වසරේදී තරගාවලියේ නරඹන්නන් සංඛ්‍යාවට සාපේක්ෂව 67% ක ඉහළ යෑමකි.

“‍මේ වන විට ලොව තුළ පවතින වසංගත තත්ත්වය මධ්‍යයේ ඉතාමත් ආරක්ෂාකාරී අයුරින් මෙවර තරගාවලිය පැවැත්වීමට අප කටයුතු සංවිධානය කරමින් සිටිනවා. එහි සත්කාරකත්වය දැරීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් මා ශාන්ත කිට්ස් සහ නෙවීස් රජයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා” යැයි කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී පීට් රසල් මහතා පැවසීය.

“කොදෙව් කණ්ඩායමට ඉතාමත් කාර්යබහුල කාල වකවානුවක වුවත්,  කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ‍බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයටද අපි ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම පෙර වසර වලදී මෙන්ම මෙම වසරේදීත් වඩාත් සාර්ථක තරගාවලියක් පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයිද රසල් මහතා එහිදී කියා සිටියේය.

මෙම තරගාවලියට පෙර ජූනි මස 10 වැනිදා සිට ජූලි මස 3 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරග 2 ක් සහ එක්දින තරග 5 ක් ක්‍රීඩා කරන කොදෙව් පිල ජූලි මස 3 වැනිදා සිට 24 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි20 තරග 5 කට සහ එක්දින තරග 3 කට සහභාගි වේ. ජූලි මස 27 වැනිදා සිට අගෝස්තු මස 24 වැනිදා දක්වා පාකිස්තානයට එරෙහිව විස්සයි20 තරග 5 ක් සහ ටෙස්ට් තරග 2 ක් ක්‍රීඩා කිරීමටද කොදෙව් කණ්ඩායම සූදනම්ව සිටී.


-036


අදහස් (0)

කැරිබියන් ප්‍රීමියර් ලීග් අගෝස්තු 28 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.