Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කුසලානය හමීඩ් අල් හුසේනි විදුහලට

කුසලානය හමීඩ් අල් හුසේනි විදුහලට

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ජනාධිපති කුසලාන’ ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ හමීඞ් අල් හුසේනි විදුහල සමත් විය. කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී ඉරිදා (22 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී මීගමුව මාරිස්ටෙලා විදුහල පරාජය කරමින් හමීඞ් අල් හුසේනි ක්‍රීඩකයෝ ශූරතාවට හිමිකම් කීහ.

නියමිත කාල සීමාව අවසන් වන විට දෙපිලේම ක්‍රීඩකයන් ගෝල ලබා ගැනීමට අපොහොසත්ව සිටි බැවින් අවසන් තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා දඬුවම් පහර ක්‍රියාත්මක කෙරිණ. එහිදී දඬුවම් පහර 5 ම සාර්ථක කරගත් හමීඞ් අල් හුසේනි ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකරගත් අතර මාරිස්ටෙලා විදුහලට සාර්ථක කරගත හැකි වූයේ දඬුවම් පහර 4 ක් පමණි.

තරගාවලියේ අගනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගැනීමට හමීඞ් අල් හුසේනි විදුහලේ ඒ. ජී. එම්. සජීඞ් සමත් වූ අතර එම විදුහලේම එම්. ඒ. රිෂාන් අවසන් තරගයේ වීරයා ලෙසද, මහේන්දින් දිනේෂ් දක්ෂතම දැළ රකින්නා ලෙසත් සම්මාන දිනාගත්හ. තරගාවලියේ දක්ෂතම ගෝල ලබාගත් ක්‍රීඩකයාට හිමි සම්මානය මාරිස්ටෙලා විදුහලේ ඩබ්ලිව්. අයි. එන්. ප්‍රනාන්දුට හිමිවිය.

පළමු අවසන් පූර්ව තරගයේදී ගෝල 4-2 ක් ලෙස කඳාන ද මැසිනොද් විදුහල පරාජය කරමින් මාරිස්ටෙලා විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. හමීඞ් අල් හුසේනි අවසන් විදුහල මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ගෝල 6-0 ක් ලෙස පුත්තලම සහිරා විදුහල පරාජය කරමිනි.

තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී ගෝල 6-2 ක් ලෙස පුත්තලම සහිරා විදුහල පරාජය කිරීමට කඳාන ද මැසිනොද් ක්‍රීඩකයෝ සමත් වූහ.  

අවසන් මහ තරගයේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අබ්දුල් හමීඞ්, අමාත්‍ය ෆයිසිර් මුස්තාෆා, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් සහ පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා යන මහත්වරු ඇතුළු ආරාධිතයෝ රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

හමීඞ් අල් හුසේනි විදුහලේ 1980 කණ්ඩායම 10 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා ආරාධිත පාසල් 20 ක් සහභාගි විය. අයිඩියල්ස් ලංකා පුද්ගලික සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.

 

 


අදහස් (0)

කුසලානය හමීඩ් අල් හුසේනි විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.