Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චක්‍රලේඛයෙන් ක්‍රීඩා සංවර්ධන කටයුතු නවතී

චක්‍රලේඛයෙන් ක්‍රීඩා සංවර්ධන කටයුතු නවතී

editorial - 2023 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මුදල් අමාත්‍යාංශය මෑතක දී නිකුත් කළ නව චක්‍රලේඛ දෙකක් හමුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතු රැසක් තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇතැයි වාර්තාවේ. එහිදී රටේ ක්‍රීඩක ක්‍රීඩීකාවන්ට තදින්ම දැනෙන යටිතල පහසුකම් සේවා ව්‍යාපෘති ගණනාවක් ද තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශයට සිදුව තිබේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාද වන රජයේ මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා ඉතා මෑතකදී නිකුත් කළ අතිවිශේෂ චක්‍රලේඛයක දක්වා ඇත්තේ නැවැත දැනුම් දෙන තුරු රජයේ අමාත්‍යාංශ වියදම් සීමා කරන බවයි. එම චක්‍රලේඛයට අනුව මෙතැන් සිට රජයේ අමාත්‍යාංශ වියදම් අත්‍යවශ්‍ය කටයුතු හා සේවාවලට පමණක් සීමාකර ගත යුතුයි.

ඒ අතර මුදල් අමාත්‍යාංශය කලින් නිකුත් කළ තවත් අති විශේෂ චක්‍රලේඛයකට අනුව රජයේ අමාත්‍යංශ හා සියලු ආයතනවලට ණයවර මත සේවා හා පහසුකම් ලබා ගැනීම තාවකාලිකව තහනම් කර ඇත.

ඒ අනුව අදාළ චක්‍ර ලේඛන දෙකෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ කටයුතුවලට බාධා පැමිණ ඇත. මෑතදී මහ භාණ්ඩාගාරයේ ප්‍රධානීන් හමුවට කැඳවා තිබෙන ක්‍රීඩා අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ඔවුන් උපදෙස් දී ඇත්තේ නැවැත දැනුම් දෙන තුරු මුදල් වැය කරන ව්‍යාපෘති හා වැඩසටහන් අත්හිටුවන ලෙසයි.

ඒ අතර දැනට පවත්වාගෙන යන අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘති ද අත්හිටුවන ලෙස එහිදී තවදුරටත් උපදෙස් ලැබී තිබේ.

මේ අතර වාර්තා වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යටිතල පහසුකම් ප්‍රවර්ධනය සඳහා දැනට ආරම්භ කර තිබෙන උසස් දක්ෂතා ප්‍රවර්ධන වැඩසටහන ඇතුළු වැඩසටහන් කීපයකටද මෙමගින් බලපෑමක් එල්ල කර තිබෙන බවයි.

කෙසේ වුවත් උසස් දක්ෂතා ප්‍රවර්ධන වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබමින් සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 178 දෙනකු සඳහා පසුගිය දෙසැම්බර්, ජනවාරි හා පෙබරවාරි යන මාස සඳහා වන ගෙවීම් මෙතෙක් ලබාදී නොමැති අතර එම ගෙවීම් ලබාදීම නව චක්‍රලේඛය යටතේ තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි දැනගන්නට ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු ‘ලංකාදීප’ය කළ විමසුමක දී පැවසුවේ මෙම තත්ත්වය විසදීමට ඉතා ඉක්මනින් මැදිහත්වීම් කරන බවට මහ භාණ්ඩාගාරය ප්‍රතිඥාදී සිටි බැවින් ඉදිරිය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය වඩාත් සුබවාදීව බලාසිටින බවයි.

මාර්තු 09 වැනිදාට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයෙන් පසුව මාර්තු අගභාගයේ දී පමණ වසර 2022 ට නියමිත 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල අවසන් අදියර පවත්වා අවසන් කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

එහෙත් පවතින තත්ත්වයන් යටතේ එය යොදාගත් පරිදි පැවැත්වීමද අවිනිශ්චිත වී තිබේ. මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ පවතින අරමුදල් සේවකයන්ගේ වැටුප් ගෙවීම් ඇතුළු එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් හා ජල විදුලිපත් ගෙවීම් සඳහා පමණක් සීමා කිරීමට අදාළ චක්‍රලේඛ නියෝග හමුවේ එම අමාත්‍යාංශයට සිදුව තිබේ.


අදහස් (0)

චක්‍රලේඛයෙන් ක්‍රීඩා සංවර්ධන කටයුතු නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.