Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජල ක්‍රීඩා සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක්

ජල ක්‍රීඩා සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක්

නාමල් පතිරගේ - 2021 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


නිලවරණය මෙහෙයවන කමිටුව පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය අද (13) පෙරවරු 10.00 ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී විශේෂ මහ සභා රැස්වීමක් කැඳවා තිබේ. ඒ සඳහා ජල ක්‍රීඩා සංගමයේ මේ වනවිට සාමාජික ලියාපදිංචි ක්‍රීඩා සමාජ 24ක නියෝජිතයෝ ආරාධනා ලැබ සිටිති.  මෙම  විශේෂ මහ සභා රැස්වීමේදී ලබන මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතු ජල ක්‍රීඩා සංගමයේ 2021-23 නිලවරණය මෙහෙයවීම සඳහා වන කමිටුව නිර්දේශ කර ගැනීමට නියමිතය.

වසර කීපයකට පෙර සිට ශ්‍රී ලංකාවට පනවා තිබෙන ජාත්‍යන්තර ජල ක්‍රීඩා තහනම මෙතෙක් ඉවත් කර නොමැත. ඒ සඳහා ජල ක්‍රීඩා සංගමයේ වත්මන් විධායක සභාව ගත් උත්සාහයන් මේ දක්වා සාර්ථක වී නොමැත. එවැනි තත්ත්වයක් මැද මෙවර පැවැත්වෙන ජල ක්‍රීඩා සංගමයේ නිලවරණයට විශේෂ අවධානයක් යොමුවී තිබේ.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපති නේතෲ නානායක්කාර මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවැසුවේ මීළඟ නිලවරණය නිරීක්ෂණය කිරීම සඳහා අන්තර් ජාතික ජල ක්‍රීඩා සංගමයට ආරාධනා කර සිටින බවයි. ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ වත්මන් විධායක සභාවට මේ දක්වා අන්තර් ජාතික ජල ක්‍රීඩා සංගමයේ නිල අනුමැතිය නොලැබීම මෙරට ජල ක්‍රීඩා පරිපාලනයට පනවා තිබෙන තහනම ඉවත් කර ගැනීමට තවදුරටත් බාධාවක් වී තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් වසර 2018 දී ජල ක්‍රීඩා සංගමය වෙනුවට අතුරු කමිටුවක් පත් කිරීමට ගත් තීරණය ජාත්‍යන්තර ජල ක්‍රීඩා තහනමට ආසන්නතම හේතුව වී තිබේ. එයින් පසුව අතුරු කමිටුව අහෝසි කරමින් කැඳවූ ජල ක්‍රීඩා සංගමයේ නිලවරණයේ පත්වීම් පිළිගැනීමද අන්තර් ජාතික ජල ක්‍රීඩා සංගමය මේ දක්වා ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ඊට ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීම් පිළිබඳව තවත් චෝදනාවක් එල්ල කරමිනි. මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් මීළඟ නිලවරණය නිරීක්ෂණය සඳහා අන්තර් ජාතික ජලක්‍රීඩා සංගමයේ නියෝජිතයකුට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා ජාත්‍යන්තර තහනම ඉවත් කරවා ගැනීම සඳහා ප්‍රමාණවත් සහයෝගයක් මේ දක්වා ලබා නොදුන් බව ජල ක්‍රීඩා සංගමයේ වත්මන් සභාපතිවරයා මේ අතර චෝදනා කරයි.

නේතෲ නානායක්කාර මහතා පත්වීමට පෙර ජල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති (2015-17) මහින්ද ලියනගේ මහතා තවදුරටත් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා පරිපාලන ඒකකයේ ප්‍රධානියා ලෙස අන්තර් ජාතික ජල ක්‍රීඩා සංගමයේ මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ පිළිගැනීමට ලක්ව තිබේ.  එහෙත් ජල ක්‍රීඩා සංගමයේ අවසන් නිලවරණය 2019 ජූලි 19 වැනිදා පවත්වා තිබේ.

 


අදහස් (0)

ජල ක්‍රීඩා සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.