Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කරයි

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කරයි

යොහාන් භාසුර - 2020 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ක්‍රීඩා පාලක සභාවේ යෝජනාවක් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කනිෂ්ඨ තේරීම් කමිටුව සහ කාන්තා තේරීම් කමිටුව අහෝසි කර සාමාජිකයන් පස්දෙනකුගෙන් යුත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.


මෙම තීරණයත් සමඟ අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව, පස්දෙනකුගෙන් සමන්විත ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවකට අනුමැතිය ලැබී ඇති බවත් ක්‍රිකට් විධායක කමිටුව විසින් කනිෂ්ඨ තේරීම් කමිටුවක් සහ කාන්තා තේරීම් කමිටුවක් පත්කිරීමට නියමිත බවත් වාර්තා වේ. ජාතික තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස චමින්ද මෙන්ඩිස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රංජිත් මදුරුසිංහ සහ හේමන්ත දේවප්‍රිය යන මහත්වරු ඇතුළත්ව සිටින බව වාර්තා වේ.


රංජිත් මදුරුසිංහ මහතා පැවැති කනිෂ්ඨ තේරීම් කමිටුවේ සභාපතිවරයා වන අතර හේමන්ත දේවප්‍රිය මහතා මෙතෙක් පැවැති කාන්තා තේරීම් කමිටුවේ සභාපතිවරයාව සිටියේය. ජාතික තේරීම් කමිටුවේ හිටපු සාමාජික විනෝදන් ජෝන් මහතාට ස්ථානය අහිමිවී තිබේ.


ජාතික ක්‍රීඩා පාලක සභාවේ සභාපති මහේල ජයවර්ධන මහතාගේ යෝජනාවක් අනුව මෙම කනිෂ්ඨ සහ කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව අහෝසි කිරීම ක්‍රියාත්මක වූ බව ද දැනගන්නට තිබේ. කෙසේ වෙතත් ජාතික ක්‍රීඩා පාලක සභාවේ සභාපති මහේල ජයවර්ධන මහතා සහ එහි සාමාජිකයකු වන හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර දෙදෙනාම මාස කීපයක සිට දිවයිනෙන් පිට සිටින බවද වාර්තා වේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් නීති රීති පද්ධතියට අනුව කනිෂ්ඨ තේරීම් කමිටුව විසින් ක්‍රිකට් සංචිත නම් කළ ද එම සංචිතවලට ජාතික තේරීම් කමිටුවේ අවසන් අනුමැතිය අනිවාර්ය විය. මෙම තත්ත්වය යටතේ කනිෂ්ඨ තේරීම් කමිටුව නම් කරන සංචිත ජාතික තේරීම් කමිටුව වෙනස් කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සහ ඇතැම් ක්‍රීඩකයන්ට අගතියක් වූ බවට පසුගිය කාලය පුරාම විවේචන එල්ල විය.


මෙම වසරේ ජනවාරි මස දකුණු අප්‍රිකාවේදී පැවැති වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ අසාර්ථකත්වයට හේතුව ජාතික තේරීම් කමිටුව විසින් සංචිතය වෙනස් කිරීම මෙන්ම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමඟ තරගාවලියට සහභාගි වූ තේරීම් කමිටු නිලධාරීන්ගේ තීරණ සෘජුව බලපෑ බවට චෝදනා එල්ල විය. ජාතික තේරීම් කමිටුවේ සාමාජිකයන්ගේ වැඩි සංඛ්‍යාවක් බොහෝ ක්‍රීඩකයන්ගේ දස්කම් හෝ ක්‍රීඩකයන් හෝ දැක නොමැති බවටත් බොහෝ දෙනකු තරග නැරඹීමට නොපැමිණෙන බවටත් විවේචන තිබුණි.


මෙතෙක් පැවැති කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව ද එක නිලධාරිනියක් මත යැපුණු බව ප්‍රසිද්ධ රහසකි.


ජාතික ක්‍රීඩා පාලක සභාව කනිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුව අහෝසි කිරීම වෙනුවට ඵළදායිත්වයෙන් යුත් නිලධාරීන් ඇතුළත් කර නව කනිෂ්ඨ තේරීම් කමිටුවක් පත්කිරීම වඩාත් ප්‍රයෝජනවත් බව ක්‍රිකට් ප්‍රවීණයෝ පවසති.


ජාතික ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන්ගේ සේවය වෙනුවෙන් විශේෂ දීමනාවක් හිමිවේ.


අදහස් (0)

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.