Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාවාලේන් ක‍්‍රීඩකයන් 2 කට වසරක තහනමක්

ජාවාලේන් ක‍්‍රීඩකයන් 2 කට වසරක තහනමක්

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නන්දිමිත‍්‍ර කණ්ඩායමට එරෙහිව පැවති ශූරයන්ගේ කුසලාන ලීග් පාපන්දු තරගයේදී විනිසුරුට පහර දීමේ චෝදනා ලැබූ ජාවාලේන් කණ්ඩායමේ කී‍්‍රඩකයන් දෙදෙනකුට වසරක පාපන්දු තහනමක් පැනවීමටත්, එහි තවත් කී‍්‍රඩකයන් දෙදෙනකුට තරගාවලියේ ඉදිරි තරග තුනක් තහනම් කිරීමටත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තරග කමිටුව ඊයේ (17) තීරණය කළේය.

එහිදී එම සියලූ කී‍්‍රඩකයන්ට දඩ ගැසීමටද නියම වී තිබේ. ඒ අනුව ජාවාලේන් කණ්ඩායමේ ඒ.එල්.එම්. අලීම් හා එච්. මාධවට වසරක තරග තහනමට අමතරව රුපියල් 10,000 ක් බැගින් දඩ නියම වී තිබේ.

මුදලින් රුපියල් 5,000 බැගින් දඩ සමග තරගාවලියේ ඉදිරි තරග තුනක් තහනමට ලක්වූයේ ජාවාලේන් කණ්ඩායමේ මැක්සි ලේටන් හා එම්. ඉස්මිරලි යන කී‍්‍රඩකයන්ටය.

එහිදී තරගයේ ජයග‍්‍රහණය ප‍්‍රතිවාදී නන්දිමිත‍්‍ර කණ්ඩායමට පිරිනැමීමටද තරග කමිටුව තීරණය කළේය. මේ අතර ජාවාලේන් කණ්ඩායමට නියමිත තරගාවලියේ ඉදිරි තරග පිටස්තර කී‍්‍රඩාංගණවලදී පමණක් පැවැත්වීමටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පැවැත්වූ පරීක්ෂණයේදී ගනු ලැබූ තවත් තීරණයකි.

සිටි ලීග් පිටියේදී පැවැති මෙම තරගයේදී මතභේදයට තුඩුදුන් සිදුවීමට හේතු වී ඇත්තේ එම්.එෆ්.එම් ඉර්ෆාන් මහතා ප‍්‍රතිවාදී ජාවාලේන් කණ්ඩායමට ප‍්‍රදානය කළ දඬුවම් පහරකි.

එම අවස්ථාවේදී ජාවාලේන් දැල් රකින්නාගේ පන්දු වැළැක්වීමක් හමුවේ නන්දිමිත‍්‍ර කී‍්‍රඩක ලක්මාල් ප‍්‍රනාන්දුගේ පාදය තුවාල වූ බවද වාර්තා වේ.

එයින් පසු විනිසුරු හා බහින් බස්වූ බව කියන ජාවාලේන් කී‍්‍රඩකයන් අතර චෝදනාලාභී ඇතැම් කී‍්‍රඩකයන් ඔහුට පහරදුන් බවට වාර්තා වන අතර නරඹන්නන් පිටියට කඩා වැදීම තුළින්ද පිටියේ නොසන්සුන් තත්වයක් හටගෙන තිබේ.

එහිදී තරගය නිමාවීමට විනාඩි 22 ක් තිබියදී එය අත්හිටුවීමට සිදුව තිබෙන අතර එයින් පසු විනිසුරුවන් පොලිස් ආරක්ෂාව මැද පිටියෙන් ඉවත් කළ බවද වාර්තාවේ.

සිද්ධිය සැලවීමෙන් පසු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා වහාම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා තීරණ දැනුම් දෙන ලෙස තරග කමිටුවට කළ නියමයට අනුව ඊයේ දහවල් රැස්වූ තරග කමිටුව පැය කීපයක් පුරා විමර්ශණ කිරීමෙන් පසු සිය තීරණ පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාට දැනුම් දුන්නේය.

පාපන්දු සම්මේලනයේ තරග කමිටුව එහි සභාපති, හිටපු නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රැස්විය.

මෙම සිද්ධියෙන් පසු ශූරයන්ගේ ලීග් තරගාවලියේ පැවති තරග කීපයක් වර්ජනය කිරීමට පාපන්දු විනිසුරුවන් පියවර ගත් බවද වාර්තා වේ.


අදහස් (0)

ජාවාලේන් ක‍්‍රීඩකයන් 2 කට වසරක තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.