තරුෂිව ආරක්ෂා කළේ මලල ක්‍රීඩා ආයතනයයි
(නාමල් පතිරගේ)
පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීම සදහා තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවට විදේශ තරග අවස්ථා පහක් සළසාදීමට කටයුතු කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය ඔසාකා තරග සංචාරයේදී තරග නොවැදීම පිළිබදව චෝදනා කරමින් ජාතික ක්‍රීඩා සභාව තරුෂිට එරෙහිව පැවැත්වීමට නියෝග කළ විනය පරික්ෂණයෙන්ද ඇය ගළවා ගත් බව කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී එම ආයතනයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පැවැසීය.
තරුෂි කරුණාරත්නගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා දියගමදී පැවැති ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී එල්ල කළ චෝදනාවන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේදී යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් එහිදී සමන් කුමාර ගුණවර්ධන මහතා මෙසේද පැවැසීය.
" පැරිස් ඔලිම්පික් උළෙලට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශවීම් වැඩි වන තරමට වඩාත්ම සතුටු වන්නේ මලල ක්‍රීඩා ආයතනයයි.මොකද ඒකෙන් වැඩියෙන්ම ගෞරව ලැබෙන්නේ මලල ක්‍රීඩා ආයතනයට නිසා.
එහෙම තිබියදී අපිට මොකක්ද තිබෙන උවමනාව තරුෂිව වළක්වන්න? ජාතික තරගාවලියේදී තරුෂිගේ පුහුණුකරු මතු කළ කාරණාව ඉසව්වට සහභාගි වුණු සෙසු ක්‍රීඩිකාවන් අදාළ කර ගත්තේ නෑ.
තරුෂිත් එක්ක එතනදී මීටර් 800 (කාන්තා) ඉසව්වේ ගිය වර ටොකියෝ ඔලිම්පික් උළෙලට තරග වැදුණු නිමාලි ලීයනාආරච්ච්ත් දිව ගියා. ධාවන පඨයේ වතුර ප්‍රශ්නයක් ගැන ඇය කතා කළෙත් නෑ.
මලල ක්‍රීඩා ආයතනයට මේ ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි.තරග ඉසව් පැවැත්වෙන කොට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් උපදෙස් ගන්න අපි බැදිලා නෑ. නමුත් පැරිස් ඔලිම්පික් නිර්දේශ ගැන අවධානය යොමු කරලා එතනදී ඉදිරියෙන්ම ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපි ඇහුම්කන් දුන්නා.
ඒ හින්දා තමයි අපි තරුෂිගේ ඉල්ලීමට ඇගේ ඉසව්ව පෙරවරු කාලේදී දාගත්තේ. ඔසාකා ගිහින් තරග නොවැදුණු එකෙන් අනවශ්‍ය වියදමක් ගියා කියලා ජාතික ක්‍රීඩා සභාව ඇයට එරෙහිව විනය පරික්ෂණයක් කැදවා වාර්තාවක් බාර දෙන්න කියලා අපිට නියම කළා.
නමුත් අපි ඒක වළක්වා ගෙන හිටියා.එහෙම කළේ මේ ක්‍රිඩිකාවගේ වට්නාකම අපි දැන ගෙන හිටපු නිසා. ඔසාකාවලදී තරග නොවැදී අතරමග තරුෂි නතර වීමට හේතුවූ කාරණා පැහැදිළි කරන ලෙස අපි පුහුණුකරුගෙන් ඉල්ලපු වාර්තාව මේ කතා කරන මොහොත වන විටත් ලැබිලා නෑ. මලල ක්‍රීඩා ආයතනය කනගාටු වෙනවා තරුෂි වෙනුවෙන් මෙතරම් කැපවීම් කරලාත් මෙවැනි අදහස් ජනගතවීම ගැන.
නමුත් තරුෂි ක්‍රීඩිකාවක් ලෙස මලල ක්‍රීඩා ආයතනයට කවදාවත් ප්‍රශ්න ඇති කළ අයෙකු නොවීම ගැන අපි සතුටු වෙනවා.අපිට දැන් ඉතිරි වෙලා තිබෙන්නේ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතය ආරක්ෂා කරන එක විතරයි.