Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයේ ධකා නුවරදී ලබන සැප්තැම්බර් 04 වැනිදා ආරම්භ වන 12 වැනි දකුණු ආසියානු (සාක්) පාපන්දු ශූරතා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම අද (26) දිවයිනෙන් පිටත්ව ගියේය.
ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම තරගාවලිය ආරම්භ වීමට සතියකට කලින් දිවයිනෙන් පිටත්ව යන්නේ ලබන බදාදා (29) ඔවුන් සත්කාරක බංග්ලාදේශ පාපන්දු කණ්ඩායමට එරෙහිව සුහද ජාත්‍යන්තර තරගයකට සහභාගිවීමට සූදානම්ව සිටින බැවිනි.
වසර දෙකකට වරක් සංවිධානය කෙරෙන දකුණු ආසියානු කලාපයේ ප්‍රධානතම පාපන්දු තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව යන සංචාරක ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට නව යොවුන් ක්‍රීඩකයන් බහුතරයකගෙන් සමන්විත වීම කැපී පෙනේ.
“ත්‍රිවෙන්ද්‍රම්” හිදී පැවති පසුගිය (2015) තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් ගණන දෙකකට පමණක් සීමා වී තිබේ. මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව දැඩි පසුබැසීමකට ලක්ව තිබෙන බැවින් වසර දෙකකට පසුව සහභාගි වන මෙම පළමු ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ දස්කම් සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ දැඩි අවධානය යොමුවී තිබේ.
මෙම තරගාවලියට සහභාගි වන විට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 200 වැනි ස්ථානයෙත් ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව 44 වැනි ස්ථානයෙත් පසුවේ.
කෙසේ වුවත් අවසන් වරට ශ්‍රී ලංකාව පසුගිය ජූලි 08 වැනිදා කොළඹදී සංචාරක ලිතුවේනියානු පාපන්දු කණ්ඩායම සමග පැවති සුහද ජාත්‍යන්තර පාපන්දු තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළේය. එයින් පසුව දකුණු ආසියානු පාපන්දු තරගාවලියට සූදානම් කළ ජාතික පාපන්දු පුහුණු සංචිතය මාසයකට ආසන්න කාලයක් ජපානයේ හා කොරියාවේ නේවාසික පුහුණු සංචාරයකට ද සහභාගි විය.
වසර 1995 කොළඹදී පැවති පස්වැනි දකුණු ආසියානු පාපන්දු තරගාවලිය ජය ගැනීමෙන් පසුව මේ දක්වා සැලකිය යුතු දක්ෂතාවයන් දැක්වීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අපොහොසත් ශ්‍රී ලංකාව 1993 දී තරගාවලියේ අනුශූරතාව ද හිමිකර ගෙන තිබේ. කණ්ඩායම් පුහුණුකරු රූමි පකීර් අලි මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ පළමු ඉලක්කය අවසන් පූර්ව වටයට පිවිසීම බවයි.
“ත්‍රිවේන්ද්‍රම්” හිදී පැවති පසුගිය තරගාවලියේදී ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසියත් එහිදී ඇෆ්ගනිස්ථානයට ගෝල 5-0 කින් පරාජය වීමෙන් ඔවුන්ගේ එම තරගාවලියේ ගමන එතනින් නිමාවට පත්වූහ.
දකුණු ආසියානු පාපන්දු තරගාවලියට සහභාගි වන රටවල් ගණන යළිත් හතකට සීමාවී ඇත්තේ ඇෆ්ගනිස්ථානය මේ වන විට දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වයෙන් ඉවත්ව සිටින බැවිනි.
මෙවර තරගාවලිය පැවැත්වීමේදී විශේෂත්වය වන්නේ එය ආරම්භ කර වසර 25ක් සපිරීම නිමිත්තෙනි.
ප්‍රේක්ෂකයන් 36000 කට අසුන් ගත හැකි බන්ගබන්දු ක්‍රීඩාංගණයේදී මෙවර සාක් පාපන්දු තරගාවලිය පැවැත්වෙන අතර නේපාලයේදී ලබන වසරේදී පැවැත්වෙන දකුණු ආසියානු (සාග්) ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් කැඳවන ශ්‍රී ලංකා පුහුණු සංචිතයටද මෙම නිර්දේශිත ශ්‍රී ලංකා කණ්ඩායම් ක්‍රීඩකයන් බහුතරයකට ඉඩකඩ ලැබෙනු ඇතැයි පාපන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.
බංග්ලාදේශය, භූතානය, නේපාලනය හා පාකිස්ථානය ‘ඒ’ කාණ්ඩයෙන්ද ඉන්දියාව, ශ්‍රී ලංකාව හා මාලදිවයින ‘බී’ කාණ්ඩයෙන් ද මෙවර මූලික වටයට තරග වදිති.
ඒ අනුව ලබන සැප්තැම්බර් 05 වැනිදා ඉන්දියාවට එරෙහිව ද සැප්තැම්බර් 07 වැනිදා මාලදිවයිනට එරෙහිව ද ශ්‍රී ලංකාව මූලික වටයේ තරග සඳහා සහභාගි වේ. අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාව අවමව එක් තරගයක් ජයගැනීම අනිවාර්ය වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සම්බන්ධීකරණ නිලධාරි රෝහිත ප්‍රනාන්දු මහතා හා එහි ක්‍රීඩකයන් දෙදෙනකු ධකා නුවර බලා පිටත්ව යාමට සැලසුම් කර ඇත්තේ ලබන සැප්තැම්බර් 01 වැනිදාය. අවසන් පූර්ව තරග සැප්තැම්බර් 12 වැනිදාත් අවසන් මහ තරගය සැප්තැම්බර් 15 වැනිදාත් පැවැත් වේ.
ඉන්දියාව හත්වරක් මෙම තරගාවලියේ ශූරතාව දිනා තිබේ.
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම
සුභාෂ් මධුෂාන් පෙරේරා (නායක නාවික හමුදාව) එම්.එන්.එම්. ෆසාල් (කොළඹ), එල්.කේ. කවිඳු ඉෂාන් (ගුවන් හමුදාව), ඩිලාන් කෞෂල්‍ය (කොළඹ), සුපුන් කවිෂ් (කොළඹ), සුජාන් පෙරේරා (මාලේ ක්‍රී.ස.), හර්ෂ ප්‍රනාන්දු (ගුවන් හමුදාව), අමිත් කුමාර (යුද හමුදාව), සසංක පෙරේරා (රත්නම්), ඩක්සන් ෆියුස්ලස් (වෙන්නප්පුව නිව් යංග්ස්), මොහොමඞ් සර්වාන් (කොළඹ), අසේල මධුෂාන් පෙරේරා (කොළඹ ශාන්ත ජෝශප් විදුහල), ජූඞ් සුමාන් (රිනවුන්), එම්. නිදර්ෂන් (යාපනය ශාන්ත මේරි), ධනුෂ්ක රාජපක්‍ෂ (වෙන්නප්පුව නිව්යංග්ස්), එම්. රිස්වාන් (කොළඹ), එරික් ප්‍රනාන්දු (කොළඹ), ආසික් කූරු මොහොමඞ් (යුද හමුදාව)
නිලධාරීන්:-
ප්‍රධාන පුහුණුකරු:- රූමි පකීර් අලි, (ගෝල් රකින්නන්ගේ පුහුණුකරු) සම්පත් බණ්ඩාර, කළමනාකරු සුනිල් සෙනවීර, තාක්‍ෂණික නිලධාරි:- ජපන් ජාතික සුසුකි සාන්, සම්භාහක:- භාෂිත් මොහොමඞ්, කණ්ඩායම් ප්‍රධානි:- බි්‍රගේඩියර් අතුල කොඩිප්පිලි, කණ්ඩායම් නියෝජ්‍ය ප්‍රධානි:- රෝහිත ප්‍රනාන්දු, පරිවර්තක:- ජපන් ජාතික කූචි යන මහත්වරුන්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.