Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු නිලවරණය වහාම කැඳවන්න නියෝග

දැල්පන්දු නිලවරණය වහාම කැඳවන්න නියෝග

Nisanka Sandeepani - 2019 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගිණුම් වාර්තාව (2017) අනුමත කරගැනීම සඳහා කැඳවූ මහ සභා රැස්වීම අසාර්ථක වීමෙන් පසුව නිලවරණය කැඳවීමට සඳහා වහාම පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා උපදෙස් දී තිබේ.

දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ටි්‍රක්සි නානායක්කාර හා ලේකම් ජයන්ති සෝමසේකරම් ද සිල්වා යන මහත්මීන් ක්‍රීඩා අමාත්‍යාංශයට පෙරේදා (25) කැඳවූ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිලවරණ කමිටුව හා ඉතා ඉක්මනින් සාකච්ඡාවක් කැඳවා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවුන්ට වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

මතභේදයට තුඩු දී තිබුණු සම්මේලනයේ වසර 2017 ගිණුම් වාර්තාව අනුමත කර ගැනීම සඳහා පසුගිය ඉරිදා (24) දැල්පන්දු සම්මේලනයේ ලේකම්වරිය කැඳවා තිබූ විශේෂ මහ සභා රැස්වීම ගාලගෝට්ටියක් මැද අතහැර දැමීමට සිදුවිය.

එහිදී ඊට සහභාගිවී සිටි අනුබද්ධ සංගම් නියෝජිතවරියෝ දැල්පන්දු සම්මේලනයේ වත්මන් නිල කාලය අවසන් වී ඇති බැවින් වත්මන් නිලධාරිනියන් තවදුරටත් එහි කටයුතු කළ නොහැකි බව ප්‍රකාශ කරමින් හැසිරීම නිසා විශේෂ මහ සභා රැස්වීම අත්හැර දැමීමට සිදු විය. එහිදී ඇතැම් අනුබද්ධ සංගම් නියෝජිතවරියෝ ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිටි සම්මේලනයේ ප්‍රධාන නිලධාරින්ට අභියෝග කරමින් දිගින් දිගටම විරෝධතා දැක්වීම නිසා සභාව එකම ගාලගෝට්ටියක් බවට පත් වූ බව ද වාර්තා වේ.

ඒ පිළිබඳව දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි, ටි්‍රක්සි නානායක්කාර මහත්මිය ‘ලංකාදීප’යට කළ විමසුමක දී පැවසුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ දැල්පන්දු ව්‍යාපෘති නිලධාරිනි තමරා ලියනගේ මහත්මියගේ හදිසි දැනුම් දීමකට අනුව මහ සභා රැස්වීම අත්හිටුවීමට දැල්පන්දු සම්මේලනය තීරණය කළ බවයි.

දැල්පන්දු සම්මේලනයේ සභාපතිනිය වැඩිදුරටත් සඳහන් කරන්නේ අනුබද්ධ සංගම් 34ක් ඇතත් මෙම මහ සභා රැස්වීමට අනුව එහි පැමිණියේ සංගම් 13ක නියෝජිතයෝ පමණක් බවයි.

මේ අතර නිලවරණය මෙහෙයවීම සඳහා කැඳවූ ත්‍රිපුද්ගල කමිටුව හා දැල්පන්දු සම්මේලනයේ ප්‍රධානීන් අතර හමුවක් අනිද්දා පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතය. මේ වනවිට දැල්පන්දු නිලවරණය මෙහෙයවීම සඳහා පත් කළ කමිටුවේ සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් විනිසුරු උපාලි අබේරත්න (සභාපති), සුනිල් ජයවීර හා එන්.කේ. අබේසිංහ යන මහත්වරු කටයුතු කරති. 

දැල්පන්දු සම්මේලනයෙ නිලවරණය සම්බන්ධයෙන් ඇති වී තිබෙන වත්මන් ව්‍යාකූල තත්ත්වය හමුවේ සම්මේලනයට ලබාදෙන මුදල් ප්‍රතිපාදන අත්හිටුවීමට ලබාදී තිබූ නියෝගය ක්‍රීඩිකාවන්ගේ පැත්තෙන් බලා ඉවත් කළ බවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. 

ලබන අප්‍රේල් 8 වැනිදා සිට 12 වැනිදා දක්වා මලයාසියාව කෙන්යාව ඇතුළු රටවල් කීපයක සහභාගිත්වයෙන් කොළඹ දී පුහුණු තරගාවලියක් පැවැත්වීමට දැල්පන්දු සම්මේලනය තීරණය කර තිබේ. ඒ අතර මෙම 31 වැනිදා ජාතික දැල්පන්දු (අවසන්) තේරීම් සිදුකිරීමට ද සම්මේලනය සැලසුම් කර තිබේ. 

දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේද මේ වසරේදීය. එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමද සහභාගි වෙයි. 


අදහස් (0)

දැල්පන්දු නිලවරණය වහාම කැඳවන්න නියෝග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.