Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු සම්මේලනයේ නිල කාලය වසර 4 ක්

දැල්පන්දු සම්මේලනයේ නිල කාලය වසර 4 ක්

නාමල් පතිරගේ - 2021 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සභාපතිනියගේ යෝජනාව පරාජයට පත්වෙමින් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිල කාලය සිව් වසරක් ලෙස අනුමත විය. එහි පැවැති විශේෂ මධ්‍යම කමිටු රැස්වීමේදී මෙම යෝජනාවට අනුමැතිය හිමිවී තිබේ.

දැල්පන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අලුතින් එක් කළ රෙගුලාසි කිහිපයක් අනුමත කරගැනීම සඳහා කැඳවූ මෙම මධ්‍යම කමිටු රැස්වීමේදී එහි සභාපතිනි ලක්ෂ්මී වික්ටෝරියා මහත්මියගේ යෝජනාව වූයේ දැල්පන්දු සම්මේලනයේ නිල කාලයත් වසර දෙකකකට සීමා විය යුතු බවයි. ඒ සඳහා පැවැති ඡන්ද විමසුමේදී අනුසංගම් 20 කින් 14 ක් නිල කාලය සිව් වසරක් විය යුතුය යන යෝජනාවට පක්ෂව මනාපය පළකර තිබේ. බස්නාහිර පළාත්, අනුරාධපුරය දිස්ත්‍රික්, වෙළෙඳ සේවා, රාජ්‍ය සේවා, බදුල්ල දිස්ත්‍රික් හා මාතලේ දිස්ත්‍රික් සංගම් එහිදී සිය ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ සම්මේලනයේ නිල කාලයත් වසර දෙකකට පමණක් සීමා විය යුතු යැයි ඉදිරිපත් වූ යෝජනාවටය.

දැල්පන්දු සම්මේලනයේ  ව්‍යවස්ථාවට අනුව එහි නිල පාලන කාලය එක් වසරකට පමණක් සීමා කර තිබුණි. මේ අතර සම්මේලනයේ ව්‍යවස්ථාවට අලුතින් එක් වූ රෙගුලාසිවලට අනුව එහි විධායක සභාවේ අසුන් ගණන 6 සිට 10 දක්වා ඉහළ දමා තිබේ. ඒ අනුව දැල්පන්දු සම්මේලනයේ නිලධාරි මණ්ඩලයට අලුතින් නියෝජ්‍ය සභාපති ධුරයක්, උපසභාපති දුර දෙකක් හා තරග ලේකම් ධුරයක් එක් කර තිබේ. කෙසේ වුවත් අලුතින් එකතු කළ තනතුරු මීට පෙරත් දැල්පන්දු සම්මේලනයේ ක්‍රියාත්මක වූ තනතුරුය.

මේ අතර යුද හමුදා දැල්පන්දු සංගමයට දැල්පන්දු සම්මේලනයේ සාමාජිකත්වය ප්‍රදානය වීමත් සමග එහි අනුසංගම් ගණන 33ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහිදී පළමු වසර ඔවුන් නිරීක්ෂණ මට්ටමෙන් කල් ගෙවයි. කෙසේ වුවත් ක්‍රීඩා නිලධාරීන්ගේ දැල්පන්දු සංගමය ලෙස අලුතින් ස්ථාපිත කළ දැල්පන්දු සංගමයේ සාමාජිකත්වය සඳහා කළ ඉල්ලීමක් සලකා බැලීම පසුවට කල් දමනු ලැබූ බව ද වාර්තා වේ.

අම්පාර දිස්ත්‍රික් දැල්පන්දු සංගමයේ සාමාජිකත්ව අයැදුම්පත්‍රය ද දෝෂ සහිත වීමෙන් පිළිගැනීම පසුවට කල් දමා තිබේ. ගුවන් හමුදා දැල්පන්දු සංගමය නමින් අලුතින් තවත් දැල්පන්දු සංගමයක් ඉදිරියේදී දැල්පන්දු සම්මේලනයේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය පැවසූයේ විශේෂ මහ සභා රැස්වීමක් කැඳවූ අවස්ථාවේදී පැමිණ සිටි සාමාජිකත්වයෙන් තුනෙන් දෙකක අනුමැතිය ලබාගැනීමෙන් එය යෝජනා සම්මත වන බවයි.  

දැල්පන්දු සම්මේලනයේ අලුතින් හඳුන්වා දුන් විනය කමිටුවේ සභාපතිනිය ලෙස නීතිඥ රංජිනි හේරත් මහත්මියත්, පුහුණුකරුවන්ගේ කමිටුවේ සභාපතිනිය ලෙස ඔලිවියා ගමගේ මහත්මියත්, විනිසුරු කමිටුවේ සභාපතිනිය ලෙස යස්මින් ධර්මරත්න මහත්මියත් පත් කෙරුණි.

දැල්පන්දු සම්මේලනයේ මීළඟ නිලවරණය ලබන මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතුය. මෙම වසරේදී  ශ්‍රී ලංකාවට දැල්පන්දු ක්‍රීඩාව හඳුන්වා දී වසර 100 ක් සපිරෙයි.

 


අදහස් (0)

දැල්පන්දු සම්මේලනයේ නිල කාලය වසර 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.