Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාවික හමුදාවට 20 - 14 ක ජයක්

නාවික හමුදාවට 20 - 14 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් මිනිත්තු කිහිපයේදී ඉස්මතු වූ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයන්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය හමුවේ තැති ගැන්මට ලක්වූවත් අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ සිය පළමු තරගයෙන් ලකුණු 20-14 ක තියුණු ජයක් අත්පත් කරගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි පිල අද (5 වැනිදා) සමත්විය. නාවික හමුදා පිල ගෝලයක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් වාර්තා කළ අතර යුද හමුදා කණ්ඩායම ගෝල දෙකක් ලබාගත්තේය.

වැලිසර නාවික හමුදා රග්බි පිටියේ අද පස්වරුවේ පැවැති මේ තරගයේ ආරම්භයේ සිටම සුපුරුදු ක්‍රීඩා රටාවට පිවිසීමට සමත්වූ නැවියෝ තරගයේ පළමුභාගය නිමාවෙද්දී ලකුණු 15-7 කින් පෙරමුණ ගැනීමට සමත්වූවත් දෙවැනි භාගයේ අවසන් මොහොතේ සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකුම කහ කාඞ්පතෙන් දඬුවම් ලබා පිටියෙන් ඉවත්වීමේ අවාසිය නිසා යුද හමුදා ක්‍රීඩකයන් හමුවේ පසුබෑමකට ලක්වූහ.

තරගයේ 3 වැනි මිනිත්තුවේ ලද දඬුවම් පහරක් සාර්ථක කරගත් නැවියන්ගේ ෆුල්බෑක් ක්‍රීඩක තිළිණ වීරසිංහ සිය කණ්ඩායම ලකුණු 3-0 කින් ඉදිරියට ගෙන ගියේය. අනතුරුව 6 වැනි මිනිත්තුවේදී යුද හමුදා ආරක්ෂක වළල්ල බිඳිමින් දුලාංජන විජේසිංහ පිරිනැමූ පන්දුව සුරැකිව ඩැහැගත් යොවුන් ක්‍රීඩක අදීෂ විරතුංග තැබූ අනගි උත්සාහක දිනුම තිළිණ විසින් ගෝලයක් බවට ප්‍රවර්ථනය කරනු ලැබීමෙන් ලකුණු සංඛ්‍යාව 10 දක්වා ඉහළ දමාගැනීමට නැවියෝ සමත්වූහ.

තරගයේ 18 වැනි මිනිත්තුවේදී දුලාංජන විජේසිංහ තැබූ විශිෂ්ට උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 15 දක්වා ඉහළ දමමින් තරගයේ වාසිය සියතට ගැනීමට නාවික හමුදා පිල සමත්විය. එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමේ අවස්ථාව තිළිණගෙන් ගිලිහී ගියේය. අනතුරුව ලකුණු පිපාසයෙන් පෙලුණු යුද හමුදා පිල 30 වැනි මිනිත්තුවේදී අශෝක ජයලාල් තැබූ උත්සාහක දිනුමක් ගයාන් සාලින්ද ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු 7 ක් අත්කර ගත්තේය.

දෙවැනි භාගයේ 54 වැනි මිනිත්තුවේදී දුලාංජන විජේසිංහ ලබා දුන් පන්දුව රැගෙන ප්‍රතිවාදී සීමා ඉර වෙතට දිව ගිය ජනිත් ලක්ෂර තැබූ උත්සාහක දිනුමෙන් නැවියන්ගේ ලකුණු සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගියේය. එම උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කිරීම තිළිණ අසමත්විය.

අවසන් මිනිත්තු දහයේදී තරගය උණුසුම් ස්වභාවයක් ඉසිලූ අතර 73 වැනි මිනිත්තුව වෙද්දී නාවික හමුදා පිලේ ජනිත් ලක්ෂර හා සුපුන් පීරිස් දෙදෙනාම කහ කාඞ්පතින් දඬුවම් ලබා පිටියෙන් ඉවත්ව සිටියහ. ලද අවසරයෙන් කදිමට ඵල නෙලාගත් යුද හමුදා පිලට දෙවැනි උත්සාහක දිනුම ලබාදීමට සමත්වූයේ සුගත් නානායක්කාරය.

ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ බාධා කිරීම් හමුවේ දැඩි ආයසයෙන් ඔහු විසින් තබනු ලැබූ උත්සාහක දිනුම ඉතා පහසුවෙන් ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ ගයාන් සාලින්ද යුද හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 14 දක්වා ඉහළ දමද්දී නැවියන්ගේ හද ගැස්ම වැඩිවිය. එසේ වුවත් අන්තිම මිනිත්තු පහේදී තරගය මැනවින් පාලනය කරමින් ජයග්‍රහණය සතු කරගැනීමට නැවියෝ සමත්වූහ.

 


අදහස් (0)

නාවික හමුදාවට 20 - 14 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.