Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු ස්ථානය රැකගන්න අපේ සාර්ථකත්වය හේතු වුණා - නායක චන්දිමාල්

පළමු ස්ථානය රැකගන්න අපේ සාර්ථකත්වය හේතු වුණා - නායක චන්දිමාල්

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ පාකිස්තානයට එරෙහිව පැවැති දෙවැනි විස්සයි2-0 තරගයේදී උපරිම දස්කම් දක්වමින් විස්සයි20 ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය රැකගත් බව ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර විස්සයි20 තරගාවලියේ පසුගිය සිකුරාදා පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 24 ක ජයක් ලබමින් 1-1 ක් ලෙස තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් කිරීමට සමත් විය.

මෙහිදී ශ්‍රී ලංකා යොවුන් පිතිකරු කුසල් ජනිත් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 59 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 84 ක් ලබා තරගයේ වීරයා සම්මානය ලැබීය.

ශ්‍රී ලංකා පිල සිකුරාදා පැවැති තරගයෙන් පරාජයට පත්වූයේ නම් ප‍්‍රසාද ලකුණු 6 ක් අහිමිවී ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 123 ක් බවට පත්ව ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය අහිමිවේ. සිවුවැනි ස්ථානයේ පසු වන පාකිස්තානය 2-0 කින් තරගාවලිය ජය ලැබුවේ නම් ප‍්‍රසාද ලකුණු 125 ක් බවට පත්ව පළමු ස්ථානයට උසස්වීම් ලබයි.

සිකුරාදා රාත‍්‍රි දෙවැනි විස්සයි20 තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී චන්දිමාල් මෙසේ ද පැවැසීය.

‘‘අපි උපරිම දස්කම් දැක්වුවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය රැුක ගත්තා. එයින් අපි ගොඩක් සතුටට පත්වෙනවා’’
‘‘කුසල් සහ ඩිල්ෂාන් ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා. ඉනිමේ අවසන් අදියරේ සීකුගේ සහ සංගක්කාර හොඳින් ලකුණු රැස්කළා. ඔබ දන්නවා සංගක්කාර ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ යෝධයෙක්’’

‘‘පාකිස්තානු පිල ඉතාමත් හොඳින් ක‍්‍රීඩා කළා. ඔවුන් සතුව හොඳ පන්දු යවන්නන් ඉන්නවා. අපිට මේ තරගයේදී හොඳ සැලැස්මක් තිබුණා, අපි එය ක‍්‍රියාත්මක කළ නිසා ජයග‍්‍රහණය කිරීමට හැකි වුණා’’ යැයි චන්දිමාල් වැඩි දුරටත් පැවසීය.

පාකිස්තානු පිලේ නායක මොහොමඞ් හෆීෂ් පවසන්නේ පිට පිටම කඩුලූ හතරක් බිඳ වැටීම පරාජයට මූලික හේතුව වූ බවයි.

පාකිස්තානු පිල එක අවස්ථාවක කඩුලූ තුනක් දැවී ලකුණු 83 ක් ලබා සිටි අතර සීකු-ගේ ප‍්‍රසන්න සහ සචිත‍්‍ර සේනානායක ලකුණු දෙකක් තුළ කඩුලූ හතරක් දවා ගැනීමෙන් ලකුණු 85 කට කඩුලූ 7 ක් බවට පත්විය.

‘‘අපි තරගයට හොඳින් අවතීරණ වුණා, නමුත් පිට පිටම කඩුලූ හතරක් වැටීමෙන් ඉනිම කඩා වැටුණා. එහි ගෞරවය ශ්‍රී ලංකා පිලට ලැබිය යුතුයි’’ යැයි පාකිස්තානු නායකයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ මස 18 වැනිදා සාජා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.


අදහස් (5)

පළමු ස්ථානය රැකගන්න අපේ සාර්ථකත්වය හේතු වුණා - නායක චන්දිමාල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.