Last Update  :  2025-01-09 19:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු ආයතනය කෝටි 13 ක හිඟ මුදල් ගෙවයි

පාපන්දු ආයතනය කෝටි 13 ක හිඟ මුදල් ගෙවයි

editorial - 2025 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනය වසර 2023 සිට හිග තබා තිබූ එහි සේවා සැපයුම්කරුවන්ට ලැබිය යුතු රුපියල් කෝටි 13 කට ආසන්න මුදලක් ගෙවා අවසන් කිරීමට කටයුතු කර තිබේ.

පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා කටාර් නුවරදී අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉම්ෆැන්ටිනෝ මහතා සමග කළ විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම හිග මුදල් ගෙවා දැමීමේ හැකියාව ලැබී තිබේ.

අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාව තහනමට ලක් කර තිබූ 2023 ජනවාරි 21 වැනිදා සිට අගෝස්තු 28 වැනිදා දක්වා දක්වා කාලය තුළදී මෙරටට ඔවුන් ලබා දෙන අරමුදල් අත්හිටුවීමට කටයුතු කිරීමෙන් ඉහත තත්වය උදාවී තිබුණි.

කෙසේවූවත් කටාර් නුවරදී පැවැති හමුවේදී අත්හිටුවා තිබෙන සිය අරමුදල් ශ්‍රී ලංකාවට නිදහස් කිරීමට  ඉම්ෆැන්ටිනෝ මහතා ගත් පියවරත් සමග පසුගිය කාලයේ එසේ සේවා සැපයුම්කරුවන්ට ගෙවීමට ඉතිරිව තිබූ රුපියල් කෝටි 13 කට ආසන්න මුදලක් ගෙවා අවසන් කළ බව ජස්වර් උමාර් මහතා පවසයි.

ශ්‍රී ලංකාව අන්තර් ජාතික පාපන්දු තහනමකට ලක් වූයේ 2023 ජනවාරී 14 වැනිදා පැවැති ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ (2023 -24) නිලවරණයෙන් පත්වූ විධායක සභාව පිළිගැනීම අන්තර් ජාතික පාපන්දු සම්මේලනය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමගය.

එහිදී සභාපති ධූරයට ඉදිරිපත් වූ  ජස්වර් උමාර් මහතාගේ නාමයෝජනාව නිලවරණය ආරම්හ වීමත් සමග නිලවරණ කමිටුව විසින් ගත් හදිසි තීරණයකට අනුව ප්‍රතික්ෂේප කෙරුණු අතර එයින් පසුව ඔහු සභාවෙන් ඉවත් කිරීමටද කමිටුව පියවර ගත්තේය.

මෙම නිලවරණයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජේ. ශ්‍රී රංගා මහතා පාපන්දු ආයතනයේ නවක  සභාපතිවරයා ලෙස තේරී පත් විය.

එහෙත් ඔහු තේරී පත්වූ එම නිලවරණයට තෙවැනි පාර්ශ්වයක  (දේශපාලන) බලපෑම් එල්ල වූ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකාවට තහනමක් පැනවීමට අන්තර් ජාතික පාපන්දු සම්මේලනය එලෙස කටයුතු කළේය.

කටාර් හමුවේදී විශේෂයෙන්ම යටි තල පහසුකම් නැංවීම පිළිබදව වඩාත් අවධානය යොමු කරමින් ලංකාවට වාර්ෂිකව ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන ඉහළ දැමීමට ඉන්ෆැන්ටිනෝ මහතා එකගවූ බවත් ජස්වර් මහතා පවසයි.

වාර්ෂිකව සාමාජික රටවලට හිමි වන ප්‍රතිපාදන යටතේ ශ්‍රී ලංකාවට අන්තර් ජාතික පාපන්දු සම්මේලනයෙන් හා ආසියානු පාපන්දු සමුළුවෙන් රුපියල් කෝටි 45 කට වැඩි මූල්‍යාධාර හිමි වෙයි.


අදහස් (0)

පාපන්දු ආයතනය කෝටි 13 ක හිඟ මුදල් ගෙවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.