Last Update  :  2025-03-21 20:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපැදි නිලවරණයෙන් 17 ක් ඉවත්වෙන්න යති

පාපැදි නිලවරණයෙන් 17 ක් ඉවත්වෙන්න යති

editorial - 2022 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(නාමල් පතිරගේ)

මැයි 20 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ (2022-23) නිලවරණය වර්ජනය කරන බවට ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම් දී ඇති ක්‍රීඩා සමාජ ගණන 17ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊට අලුතින් එක්ව තිබෙන ක්‍රීඩා සමාජ ගණන හතකි.

නිලවරණය පැවැත්වීමට ප්‍රථම තමන් විසින් නිලවරණ කමිටුවට එරෙහිව ඉදිරිපත් කර  තිබෙන විරෝධතාව විභාගයට ගන්නා ලෙස සභාපති අපේක්ෂක බී.ජේ. සුමනසේකර මහතා ඇතුළු ක්‍රීඩා සමාජ නියෝජිතයන් පිරිසක් ඊයේ (18) ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා හමුවී ඉල්ලීමක් කළේය. එහිදී ඔහු උපදෙස් දී ඇත්තේ එම විරෝධතාවය විභාගයට ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති කමිටුවට බාර දෙන ලෙසයි.

ජාතික ක්‍රීඩා සංගමයක නිලවරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් වන අවස්ථාවේදී එය විභාගයට ගෙන තීරණයක් ලබාදෙන තුරු නිලවරණය කල් දැමීම සාමාන්‍ය සම්ප්‍රදායයි.
ලබන මැයි 23 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනයේ නිලවරණය ද ක්‍රීඩා සමාජ කීපයක විරෝධතා හේතුවෙන් අත්හිටුවීමට සිදුවූයේ ඉදිරිපත් වූ අභියාචනය විභාගයට ගෙන තීරණයක් ලබා දෙන තුරුය.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල නිලවරණ කමිටුව පාපැදි සම්මේලනයේ නිලවරණය කැඳවීමේදී කරුණු හතරක් නොසලකා හැර ඇතැයි සභාපති අපේක්ෂක බී.ජේ. සුමනසේකර මහතාගේ පාර්ශ්වය චෝදනා කරයි.  

2015-17 අවධියේ පාපැදි සම්මේලනයේ සභාපති ධුරය හෙබවූ විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සිය පාලන කාලයේ ගිණුම් වාර්තා විගණනය කර ඉදිරිපත් කිරීමට අපොහොසත් වූවෙකු ලෙස චෝදනා ලැබීමෙන් ක්‍රීඩා නීතියට අනුව ඔහු වැරදිකරුවකු වී ඇති බවද කියැවේ.  එවැනි අයෙකුට ක්‍රීඩා පනතේ රෙගුලාසිවලට අනුකූලව යළිත් පාපැදි සම්මේලනය හෝ වෙනත් ජාතික ක්‍රීඩා සංගමයක තනතුරු දැරිය නොහැකි බැවින් මැයි 20 වැනිදා පැවැත්වෙන නිලවරණයට ඔහුගේ අපේක්ෂකත්වය නිලවරණ කමිටුව විසින් පිළිගැනීම දෝෂ සහගත යැයි බී.ජේ. සුමනසේකර මහතා අදාළ අභියාචනයෙන් පෙන්වා දී තිබේ.

පාපැදි සම්මේලනයේ නිල කාලය (2021-22) පසුගිය මාර්තු 20 වැනිදා අවසන් වී තිබියදී ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියකින් තොරව මැයි 20 වැනිදා නිලවරණය කැඳවීමට තීරණය කිරීම තවත් චෝදනාවකි.

2022 මාර්තු 10 වැනිදා ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ ප්‍රකාරව නිවේදනය කළ අතිවිශේෂ ගැසට් පත්‍රය උල්ලංඝනය වන ආකාරයෙන් නලින් අධිකාරිආරච්චි හා චමින්ද ශ්‍රී රංග පෙරේරා යන මහත්වරුන්ගේ නාමයෝජනා පිළිගැනීමට කටයුතු කිරීම ගැනද මෙම විරෝධතාවයෙන් නිලවරණ කමිටුවට චෝදනා නගා තිබේ.

මෙවර නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ වලංගු ක්‍රීඩා සමාජ ගණන 39කි. ඉන් 17ක් මැයි 20 වැනිදා පැවැත්වෙන නිලවරණයෙන් ඉවත් වන බව ප්‍රකාශ වී තිබෙන අතර, ජාතික මවුන්ටන් පාපැදි සංගමය හා කොලොන්නාව නිදහස් පාපැදි ක්‍රීඩා සමාජයට මෙවර නිලවරණයේදී ඡන්ද බලය ප්‍රදානය කිරීමට එරෙහිවද තවත් විරෝධතාවයක් ඉදිරිපත් වී තිබේ.
පාපැදි සම්මේලනයේ වත්මන් පරිපාලනය මෙවර නිලවරණයෙන් තවත් ක්‍රීඩා සමාජ 11ක ඡන්ද බලය අහෝසි කර තිබේ.

 


අදහස් (2)

පාපැදි නිලවරණයෙන් 17 ක් ඉවත්වෙන්න යති
  • B.j සුමනසේකර Wednesday, 18 May 2022 09:43 PM

    පාපැදි ක්‍රීඩාව හරිමගට ගැනිම සම්බන්ධව දිවයිනේ ප්‍රධාන මධ්‍යයක් වන ලංකදිප පුවත්පත ගන්නා වූ උත්සාහයට පාපැදි ක්‍රිඩකයන්ගේ ප්‍රසාදය...!

    Reply 0       0

    Ramanayaka Brahman Wednesday, 18 May 2022 10:49 PM

    සියල්ල විගණනය කරන්න. ව්‍යවස්ථානුකූලව නිලවරණය පවත්වන්න. ස්තුතියි...!!!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.