Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපැදි සම්මේලනයට තාවකාලික නව ගිණුමක්

පාපැදි සම්මේලනයට තාවකාලික නව ගිණුමක්

editorial - 2021 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අප්‍රේල් 6 වැනිදා පැවැති නිලවරණයෙන් පත්වූ නව විධායක සභාවට සම්මේලනය සතු දේපළ පවරාදීම හිටපු විධායක සභාව තවදුරටත් ප්‍රතික්ෂේප කරන බැවින් තාවකාලික නව ගිණුමක් යටතේ මූල්‍ය කටයුතු පවත්වාගෙන යන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට උපදෙස් දී තිබේ.

ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ පාපැදි සම්මේලනයේ පත්වූ නව විධායක සභාව ප්‍රතික්ෂේප කරමින් එහි හිටපු පරිපාලනය තමන් තවදුරටත් සම්මේලනයේ බලධාරීන් බව ප්‍රකාශ කිරීම නිසාය. ක්‍රීඩා අමාත්‍යාංශය අප්‍රේල් 6 වැනිදා පැවැති නිලවරණයට අනිසි මැදිහත්වීම් කළ බවටත් හිටපු පරිපාලනය චෝදනා කරයි.

පාපැදි සම්මේලනයේ ලිපිගොනු ඇතුළු බඩුබාහිරාදිය, පරිගණකවල මුරපද මෙන්ම ගිණුම් හිමිකම් නව පාලන නිලධාරීන්ට පැවරීම හිටපු පරිපාලනය ප්‍රතික්ෂේප කර ඇත.

වාර්තාවන පරිදි ඒ පිළිබඳව ඔවුන් අන්තර්ජාතික පාපැදි සම්මේලනයට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඊට ප්‍රතිචාර ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය ද අප්‍රේල් 6 වෙනිදා පැවති පාපැදි නිලවරණයට රාජ්‍ය මැදිහත්වීමක් නොවූ බවට දක්වමින් අන්තර්ජාතික සම්මේලනයට ලිපියක් යොමුකර තිබුණි. කෙසේ වුවත් අන්තර්ජාතික පාපැදි සම්මේලනය ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයට දක්වා තිබෙන ප්‍රතිචාර පිළිබඳව මෙතෙක් වාර්තා වී නැත.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති එච්.එල්. ක්‍රිෂාන්ත මහතා ‘ලංකාදීප’යට පැවසුවේ නව විධායක සභාව මේ වනවිට සූම් තාක්ෂණය ඔස්සේ තෙවතාවක් රැස්වී සාකච්ඡා කළ බවයි. එහිදී නව විධායක සභාව මුහුණදී සිටින ගැටලු සාකච්ඡා කළ බවත් විශේෂයෙන්ම රට තුළ සංචරණ සීමා පැනවීමෙන් පසුගිය කාලය  පුරා  ශ්‍රී ලංකා පාපැදි ක්‍රීඩකයන්ගේ මාර්ගස්ථ පුහුණුවීම් අඩාලවීම විධායක සභාවේ දැඩි අවධානය යොමු වූ බවත් ඔහු පැවසීය.

පාපැදි සම්මේලනයේ නව විධායක සභාවට ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව දෙකකින් සභිකයන් පත්ව සිටින බැවින් සූම් තාක්ෂණය ඔස්සේ පැවැති විධායක සාකච්ඡා වට කිහිපයක් උණුසුම් මුහුණුවරක් ගත් බව වාර්තා වේ.  

එහිදී වත්මන් සභාපතිවරයාට විධායක සභිකයන් කීප දෙනකු පවසා ඇත්තේ හිටපු පරිපාලනයේ නම් කළ නිලධාරීන් තිදෙනකුගේ සේවය සම්මේලනයේ ඉදිරි කටයුතු සඳහා ලබා ගැනීමට තමන් තරයේ විරුද්ධ වන බවයි.

 මෙම තිදෙනාම හිටපු පාපැදි පරිපාලනයේ නම ගිය නිලධාරීන් වන ඉහළ තනතුරු දැරුවෝ වෙති. එක් අයකු අන්තර්ජාතික වශයෙන්ද කීර්තියක් උසුලන්නෙක් වේ. කෙසේ වුවත් සභාපති එච්.එල්. ක්‍රිෂාන්ත මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ එක් එක් අයගේ පෞද්ගලික අමනාපකම් ඉස්මතු කිරීම පසෙක දමා දක්ෂයන්ගෙන් වැඩ ගැනීමට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවයි.

 


අදහස් (0)

පාපැදි සම්මේලනයට තාවකාලික නව ගිණුමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.