Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපැදි නිලවරණයට අලුත් කමිටුවක්

පාපැදි නිලවරණයට අලුත් කමිටුවක්

editorial - 2024 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

සිකුරාදා ( 17) පැවැති හදිසි  විධායක  සභා රැස්වීමේදී ගනු ලැබූ තීරණයන්ට අනුව ශ්‍රී  ලංකා  පාපැදි  සම්මේලනයේ එළඹෙන  නිලවරණය (2024 -25) මෙහෙයවීම සදහා  අලුතෙන් (නිලවරණ) කමිටුවක් පත් කර තිබේ.

නව කමිටුවේ  සභාපතිවරයා  ලෙස විශ්‍රාමික මහාධිකරණ  විනිසුරු  අමල් තිලකරත්න  මහතා පත් කර තිබේ.ව්ශ්‍රාමික  ජේය්‍යෂ්ඨ  පොලිස්  අධිකාරි  එන්.ඒ.ටී. ජයසිංහ  හා ව්ශ්‍රාමික  ක්‍රීඩා  අධ්‍යක්ෂ  සී.රත්නමුදලි යන මහත්වරු කමිටුවේ  සෙසු සාමාජිකයෝ වෙති.

මෙම  කමිටුව නිර්දේශ  වන්නේ මීට පෙර වීශේෂ මහ සභා රැස්වීම් දෙකකදීම පාපැදි සම්මේලනයේ  නිලවරණය කැදවීම සදහා  යෝජනාවූ (නිළවරණ) කමිටු දෙකක් පත් කර ගැනීමට දැරූ උත්සාහයන් දෙකක්ම අසාර්ථක  වීමෙන් පසුවය.

කෙසේවුවත්  ඒ පිළිබඳව  ශ්‍රී  ලංකා පාපැදි  සම්මේලනයේ  ලේකම් නලින්  අධිකාරිආරච්චිගේ මහතා පැවැසුවේ  එම රැස්වීම් වලදී ගත් තීරණ කඩාකප්පල් කළ පාර්ශ්වයන්ට නව කමිටුවේ  පත් කිරීම් වලට එරෙහි විය නොහැකි බවයි.

”එන්.ඒ.ටී. ජයසිංහ  හා සී. රත්නමුදලි යන මහත්වරු මීට පෙර පැවැති විශේෂ  මහ සභා රැස්වීම්  වලදී යෝජනාවූ සාමාජිකයෝ දෙදෙනෙක්.අළුතෙන්  පත්ව සිටින්නේ සභාපති ධූරයට  නම් කර සිටින මහාධිකරණ  විනිසුරු අමල් තිලකරත්න  මහතා විතරයි.

ඒ නිසා සිකුරාදා  රාත්‍රියේදී  සූම් තාක්ෂණයෙන් සංවිධානය කළ විධායක  සභා රැස්වීමේදී  ගත් තීරණ  වලින් කිසිදු  පාර්ශ්වයකට අසාධාරණයක් වී නෑ.”යයිද අධ්කාරිආරච්චිගේ මහතා  පැවැසීය.

මේ අතර ලංකාදීපය  කළ විමසීමකදී  ඔහු පැවැසුවේ නිලවරණ කමිටුව පත් කිරිම මහ සභා රැස්වීමකට පමණක්  පැවැරෙණ රාජකාරියක් වූවත්  ඉහත නිලවරණ කමිටුව සදහා මහ සභා රැස්වීමේදී  පත් කර ගත් සාමාජිකයන්  දෙදෙනකු  ඇතුළත්ව සිටීමෙන් විධායක සභා  රැස්වීමේදී  අසාධාරණ කටයුත්තක්  සිදුවී නැති බවයි.

ශ්‍රී  ලංකා පාපැදි  සම්මේලනයේ  නිලවරණය (2024/25) මෙම  මැයි  31 වැනිදා  පවත්වා අවසන් කළ යුතු වුවත් ඉහත  අර්බුදකාරී සිදුවීම් හේතුවෙන්  එය මේ මොහොත  වන විට දින නියමයකින් තොරව කළ් දමා තිබේ.

මේ අතර  නලින් අධිකාරිආරච්චිගේ  මහතා  පැවැසුවේ කැදවූ මහ සභා  රැස්වීම්  දෙකදීම නිලවරණ  කමිටුව  නිර්දේශ  කර ගැනීමට දැරූ උත්සාහයන් අසාර්ථක  වීම ගැන දීර්ඝව කරුණු  දක්වමින්  පාපැදි සම්මේලනයේ  විධායක සභාව ක්‍රීඩා  අධ්‍යක්ෂ  ජනරාල්  මහාචාර්ය  ෂේමාල් ප්‍රනාන්දු  මහතාට ලිපියක් යොමු කර තිබෙන බවයි.

එහිදි  නිලවරණය  සාර්ථකව පවත්වා අවසන් කිරීම සදහා පාපැදි  සම්මේලනයේ  වත්මන් විධායක  සභාවේ නිල කාලය මාස තුනකින් දීර්ඝ  කර ගැනීම සදහා  ඔහුගෙන් ඉල්ලීමක් මේ වන විට සිදු කර තිබෙන  බවත් ඔහු පැවසීය.

මීට  පෙර අවස්ථාවන් දෙකකදී නිලවරණ  කමිටුවේ  සභාපති ධූරයට  විශ්‍රාමලත් මහාධිකරණ  විනිසුරු  තිස්ස ඒකනායක මහතා හා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසළා සරෝජනී  වීරවර්ධන  මහත්මිය නිර්දේෂ  කර ගැනීමේ  උත්සාහයන් දෙකක්ද අසාර්ථක  වූහ.

අධිකාරිආරච්චිගේ  මහතා  වැඩිදුරටත්  පැවැසුවේ  නව නිලවරණ කමිටුවේ  සභාපති  ධූරයට කුසලා සරෝජනී  මහත්මිය  පත් කර ගැනීමේ  උත්සාහයට විධායක  සභාව එකගවූවත් ඇය විදේශ  ගතවීමේ තත්ත්වයක් මත එම උත්සාහය අත් හැරීමට සිදුවූ බවයි.

පාපැදි  සම්මේලනයේ  වත්මන්  සභාපති ධූරය  උසුළන්නේ විශේෂණ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතායි.ඔහු මෑතකදී  ක්‍රීඩා  අමාත්‍යාංශයේ  ලේකම් ධූරයේද කෙටි කලක් කටයුතු  කර තිබේ.

කෙසේවුවත්  පාපැදි සම්මේලනයේ ප්‍රධාන  පාර්ශ්වයක් වන එහි හිටපු සභාපතිවරයෙකු වන අන්තර්ජාතික  පාපැදි විනිසුරු එන්.කරුණාරත්න මහතා නායකත්වය දරන පාර්ශ්වයට හිතවත් ක්‍රීඩා සමාජ හා සංගම්  පසුගිය නිලවරණ කීපයක්ම වර්ජනය කළත් මෙවර කැදවූ විශේෂ  මහ සභා රැස්වීම් සදහා  ඔවුන් සහභාගිවීම කැපී පෙණුණි.


අදහස් (0)

පාපැදි නිලවරණයට අලුත් කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.