පිය පදවිය ලබන්න යන කෝලිටත් නිවාඩු
ඕස්ටේ්‍රලියානු සංචාරයේදී එක්දින සහ විස්සයි20 තරගාවලි දෙකට සහ ඇඩිලේඞ් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව විරාට් කෝලිට නිවාඩු දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. කෝලිගේ බිරිඳ වන සුප්‍රකට බොලිවුඞ් නිළි අනුෂ්කා ෂර්මා සිය කුළුඳුල් දරුවා ප්‍රසූත කිරීමට සූදානම් වීම ඊට හේතුවයි.
පළමු ටෙස්ට් තරගයෙන් පසුව විරාට් කෝලී නැවන ඉන්දියාවට යාමට අදහස් කර ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දැනුම් දී තිබේ. මින් පෙර ටෙස්ට් තරග 2 කින් පසුව ඉන්දියාව බලා පිටත්ව යන බව පවසා තිබුණද මේ වනවිට ඔහු පළමු තරගයට පමණත් ක්‍රීඩාකරන බව දන්වා තිබේ. කොරෝනා වයිරස් වසංගතය ලොව පුරා පැතිරීමෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ඇණහිටීමෙන් පසුව කෝලී ඇතුළු කණ්ඩායමේ පළමු විදේශීය සංචාරය මෙයයි.
“සිය පවුලට ප්‍රමුඛතාවය ලබාදියයුතු බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සැමවිටම විශ්වාස කරනවා. කෝලී සිය කුළුඳුල් දරුවාගේ උපත වෙනුවෙන් නිවාඩු ලබා ගැනීමට අදහස් කර ඇති අතර ඒ අනුව ඔහුට අවසන් ටෙස්ට් තරග 3 අහිමිවී යනු ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.
පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 17 සිට 21 දක්වා දිවා/රාත්‍රී තරගයක් ලෙස ඇඩිලේඞ්හිදී පැවැත්වේ. දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 26 සිට 30 දක්වා මෙල්බර්න් හිදී පැවැත්වේ. තෙවැනි ටෙස්ට් තරගය ලබන වසරේ ජනවාරි 7 සිට 11 දක්වා සිඞ්නි හිදී සහ සිව්වැනි සහ අවසන් ටෙස්ට් තරගය ජනවාරි 15 සිට 19 දක්වා බි්‍රස්බේන් හිදී පැවැත්වේ.
ඉන්දීය ක්‍රීඩකයන්ගේ බිරින්ඳෑවරුන් දරුවන් ලබන අවස්ථා වලදී ක්‍රිකට් ක්‍රීඩකයින්ට නිවාඩු ගැනීමට දිරිමත් කිරීම වසර ගණනාවක් තිස්සේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තියකි.
“සාමාන්‍ය කාලයකදී නම් තෙවැනි ටෙස්ට් තරගය අතහැර ඔහුගේ බිරිඳගේ දරු උපත සඳහා ඉන්දියාවට පැමිණ නැවත ගොස් බි්‍රස්බේන්හිදී අවසන් තරඟයට ක්‍රීඩා කිරීමට ඔහුට හැකියාව තියෙනවා. නමුත් දින 14 ක නිරෝධායනය තවමත් ක්‍රියාත්මක වන්නේ නම්, නැවත පැමිණ ආපසු යෑම දුෂ්කර වෙනවා” යැයි ප්‍රකාශකයකු පැවසීය. මෙවන් වාතාවරණයක් තුල ලෝකේෂ් රාහුල් ටෙස්ට් සංචිතයට කැඳවීම සහ ආබාධය සුවවීමෙන් පසුව රෝහිත් ෂර්මා ටෙස්ට් සංචිතයට ඇතුළත් කිරීම දෙගුණයක් ප්‍රයෝජනවත් විය හැකි බව එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.
ආරම්භක පිතිකරුවන් ලෙස මයාන්ක් අගර්වාල් සහ ප්‍රිත්වි ෂෝ විකල්පයන් ලෙස සිටියද, කෝලි නොමැති විට මැද පෙළ ශක්තිමත් කිරීමට රෝහිත් ෂර්මාගේ ආගමනය ඉතා වැදගත් වනු ඇත.
මේ මස 27 වනදා සිට ආරම්භවන එක්දින සහ විස්සයි20 තරගාවලි දෙකෙන් විවේක ගන්නා ඇති රෝහිත් ෂර්මා ටෙස්ට් සංචිතයට පමණක් නම්කර ඇත.
- 2079