Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර ඊයේ පැවැති තරගයේ ලකුණු සමවීමෙන් මෙවර අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පළමු වතාවට ජයපරාජයෙන් තොරව තරගයක් නිමාවට පත්විය. මහ වැසි මැද පොලිස් පිටියේ පැවැති මේ තරගයේ අවසන් මොහොත දක්වා දෙපිලම කරට කර සටනක නිරත වූහ.
තරගයේ ජයග්‍රහණය වරින් වර දෙපැත්තටම දෝලනය විය. එහෙත් අවසන් මොහොතේ ලකුණු 21-18 කින් පෙරමුණ ගෙන තවත් ජයග්‍රහණයකට යමින් සිටි සී.එච්. ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු සුන් කළ පොලිස් පිලේ සංදේශ් ජයවික්‍රම මීටර් 35 ක පමණ දුරකින් දඬුවම් පහරක් සාර්ථක කරගැනීම නිසා තරගය නිමාවූයේ දෙපිලම ලකුණු 21-21 බැගින් ලබා සිටියදීය.
පිට පිට දඬුවම් පහර දෙකක්ම සාර්ථක කරගත් සංදේශ් පොලිස් කණ්ඩායම ලකුණු 6-0 කින් පෙරමුණට දැමීමෙන් පසුව ඉරංග ආරියපාල තැබූ අගනා උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ සැමුවෙල් මධුවන්ත සී.එච්. පිලට ලකුණු 7-6 කින් පෙරමුණ ගෙන දුන්නේය. ඊට මොහොතකට පසුව නිරෝෂ් සිල්වා තැබූ විශිෂ්ට උත්සාහක දිනුමක් සංදේශ් විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් ලකුණු 13-7 කින් පෙරමුණ ගැනිමට පොලිස් පිලට හැකිවිය.
පළමු භාගය නිමාවීමට පෙර ශ්‍රීනාත් විමලවීර තැබූ උත්සාහක දිනුමකින් සී.එච්.පිලේ ලකුණු සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගියේය. එහෙත් පළමු භාගය නිමාවනවිටත් ලකුණු 13-12 කින් ඉදිරියෙන් පසුවූයේ පොලිස් කණ්ඩායමයි.
දෙවැනි භාගයේ දී තරගයේ පාලනය සියතට ගත් සී.එච්.පිල සැමුවෙල් මධුවන්ත පිට පිට දඬුවම් පහර දෙකක් සාර්ථක කරගැනීමෙන් ලකුණු 18-13 කින් පෙරමුණ ගැනීමට සමත්විය. මොහොතකට පසුව හෂාන් ප්‍රනාන්දුගේ අනගි උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 18-18 දක්වා සමකරගැනීමට පොලිස් ක්‍රීඩකයෝ සමත්වූහ.
අනතුරුව සැමුවෙල් මධුවන්තගේ සාර්ථක දඬුවම් පහරකින් ලකුණු 21-18 කින් පෙරමුණගත් සී.එච්. පිල ජයග්‍රහණයෙන් තරගය නිමාකරගැනීමේ බලාපොරොත්තු ඉහළ දමාගත්තේය. එහෙත් ඊට ඉඩ නොදුන් පොලිස් ක්‍රීඩකයෝ අවසන් මොහොතේ සංදේශ්ගේ පිහිටෙන් තරගය ජයපරාජයෙන් තොරව කෙළවර කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.