Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බර්මින්හැම් යන නිලධාරීන් පිරිස හොඳටම වැඩියි

බර්මින්හැම් යන නිලධාරීන් පිරිස හොඳටම වැඩියි

editorial - 2022 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

බර්මින්හැම් නුවරදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම් නිලධාරීන් ගණන හොඳටම වැඩි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. මෙම තරග සංචාරය සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ පමණක් නිලධාරීන් 12 දෙනෙකු පමණ සහභාගී වන බවත් මෙතරම් නිලධාරීන් පිරිසක් මෙම තරග සංචාරයට එක්කර ගැනීම ගැටළුවක් බවත් ඇමැතිවරයා ‘‘ලංකාදීප’’ය සමග අදහස් දක්වමින් පැවසීය.

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී අනිද්දා (28) ආරම්භ වන 22 වැනි රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලබන අගෝස්තු 8 වැනිදා දක්වා එහිදී පැවැත්වේ. ඒ සඳහා ක්‍රීඩා ඉසව් 14 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110 ක් හා නිලධාරීන් 51 දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වෙති.

ඒ සඳහා සහභාගීවන සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරග සංචාරය ගැන ක්‍රීඩා ඇමැතිවරයා මෙසේද පැවසීය.

‘‘මේ වගේ තරග සංචාරවලදී අපි ඉඩ ලබාදිය යුත්තේ හැකිතාක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටයි. පුහුණුකරුවෝ අපිට සංචාරයෙන් අයින් කරන්න බෑ. හැබැයි පරිවාර නිලධාරීන් කියලා යන අය අඩු කළ යුතු බවයි මගේ අදහස. දැන් රටේ පවතින ආර්ථික තත්වයටත් මෙය ඔරොත්තු දෙන්නෙ නෑ.

කොහොම උනත් මේ ගැන මගේ මතය ජාතික ඔලිම්පික් කමිටුවට දැනුම් දුන්නා. එතකොට මට මෙහෙම කතාවක් ආරංචි වුණා.

ඔලිම්පික් කමිටුවේ බලධාරීන් සමහරු කියලා තියෙනවා. ඇමැතිතුමාට කියන්න ඕවා ගැන ඒතරම් කතා කරන්න හොයන්න යන්න එපා. කලින් හිටපු ක්‍රීඩා ඇමැතිවරු අපි එක්ක වැඩ කළේත් බොහෝම සහයෝගයෙන්. ඔය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරග සංචාරයට ගිහිල්ලා ඇමැතිවරයාත් සතුටු වෙලා එන්න. දෙන දෙයක් අරන් කලින් ක්‍රීඩා ඇමැතිවරු වගේ වැඩ කරන්න කියලා.
මේ කතාව දැනගන්න ලැබුණාට පස්සේ මම තීරණය කළා, ‘‘බර්මින්හැම්’’ ක්‍රීඩා උළෙලට යන්නේ මගේ අතින් වියදම් කරගෙන කියලා. ඒ අනුව ‘‘බර්මින්හැම්’’ 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී අනිද්දා (28) පැවැත්වෙන සමාරම්භක උත්සවය නැරඹීම සඳහා ක්‍රීඩා ඇමැතිවරයා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව සිටියේය.

ඒ අතර ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් යන මහත්වරුද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ ආරාධනයෙන් ‘‘බර්මින්හැම්’’ නුවර බලා පිටත්ව යාමට සූදානමින් සිටියහ.

සුදුසුකම් නිර්දේශ ලබාගනිමින් ශ්‍රී ලංකාව මෙවර ක්‍රීඩා උළෙලට ක්‍රීඩා ඉසව් හතකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරති. ඉන් වැඩි ප්‍රමාණයක් කණ්ඩායම් ඉසව් වෙතිනි.
පැසිපන්දු (3x3), වෙරළ වොලිබෝල්, ක්‍රිකට් විස්සයි - 20 (කාන්තා), රග්බි (සත් සාමාජික), බැඩ්මින්ටන් (මිශ්‍ර කණ්ඩායම්), මල්ලවපොර හා පැරා - විශේෂ අවශ්‍යතා සහිත ක්‍රීඩා ඉසව්ව සඳහා එලෙස සුදුසුකම් නාමලේඛනයෙන් ශ්‍රී ලංකාව කණ්ඩායම් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් කර තිබේ.

සුදුසුකම් නොලත් නාමලේඛන යටතේ දිය ක්‍රීඩා (පිහිනුම් - දිය පිණුම්), මලල ක්‍රීඩා බැඩ්මින්ටන්, බොක්සිං, ජිම්නාස්ටික් (රිද්මයානුකූල හා ශිල්පීය), ජූඩෝ, ස්කොෂ් හා මල්ලවපොර යන ක්‍රීඩා ඉසව් සඳහා ශ්‍රී ලංකාව කණ්ඩායම් සහභාගී කරයි.

තරග සංචාරයට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම් සඳහා බර්මින්හැම්හිදී නවාතැන් හා ආහාරපාන තරග සංවිධායකයන් වෙතින් ලැබේ. කෙසේ වුවත් ගුවන් ප්‍රවේශපත්‍ර වියදම් ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ආසන්න වශයෙන් රුපියල් කෝටි අටක් පමණ වැය වේ.


අදහස් (0)

බර්මින්හැම් යන නිලධාරීන් පිරිස හොඳටම වැඩියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.