Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැයි 31 ට පෙර නිලවරණ තියන්න‘යි නියෝග

මැයි 31 ට පෙර නිලවරණ තියන්න‘යි නියෝග

editorial - 2022 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ක්‍රීඩා සංගම් 25 ක මෙම වසරට නියමිත නිලවරණ  මැයි මස 31 වැනිදාට පෙර පවත්වා අවසන් කරන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා උපදෙස් දී තිබේ. ඉන් 13ක් මේ වනවිටත්  නිලවරණය පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කර තිබේ.

ජාතික ක්‍රීඩා පනතේ නව රෙගුලාසිවලට අනුව ජාතික ක්‍රීඩා සංගමයක නිලවරණය කැඳවීම වසරේ මැයි 31 වැනිදාට පෙර සිදු කළ යුතුය.

මේ වනවිට රටේ අර්බුදකාරි තත්ත්වයක් උද්ගතව තිබෙන නමුදු  මැයි 31 වැනිදාට පෙර ජාතික ක්‍රීඩා සංගම්හි නියමිත නිලවරණ පවත්වා අවසන් කළ යුතු බවට ලබාදුන් නියමයේ වෙනසක් මෙතෙක් සිදුකර නැතැයි ‘ලංකාදීප’ය කළ විමසුමක දී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසීය.

ප්‍රධාන ජාතික ක්‍රීඩා සංගම් අතර පාපැදි සම්මේලනය මැයි 20 වැනිදා ද හොකී සම්මේලනය මැයි 26 වැනිදාත් දැල්පන්දු සම්මේලනය මැයි 29 වැනිදාත්, ජිම්නාස්ටික් සංගමය මැයි 31 වැනිදාත් මෝටර් රථ ක්‍රීඩා සංගමය මැයි 31 වැනිදාත් එළඹෙන නිලවරණය පැවැත්වීම සඳහා දිනයන් නියම කරගෙන තිබේ. කෙසේ වුවත් මෙතෙක් දින නියමකර ගෙන නැති මේ වසරේ දී නිලවරණ කැඳවිය යුතු ජාතික ක්‍රීඩා සංගම් අතර පාපන්දු ආයතනය හා එල්ලේ සම්මේලනය ද වේ.

මෙම වසරේ දී නිලවරණය කැඳවීමට මුලින් තමන් එකඟ නොවූ නමුත් විධායක සභාව මෙම වසරේ දී නිලවරණය කැඳවා අවසන් කිරීමට දැන් තීරණය කර තිබෙන බවත් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසයි.  එහෙත් ප්‍රායෝගිකව ගැටලු කීපයක් පැන නැගීම නිසා පාපන්දු ආයතනයේ එළඹෙන නිලවරණය මැයි 31 වැනිදාට පෙර පැවැත්වීම දුෂ්කර වී ඇති බැවින් ඒ සඳහා තවත් මාස කීපයක් කල් ලබා ගැනීම සඳහා  ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු පැවසීය. පාපන්දු ආයතනයේ අවසන් නිලවරණය පසුගිය වසරේ (2021)  ජුනි 30 වැනිදා පැවැත්වුණි.

ක්‍රීඩා අමාත්‍යාංශයට අනුමැතිය සඳහා මේ වනවිට යොමුකර තිබෙන පාපන්දු ආයතනයේ නව ව්‍යවස්ථාව මීළඟ නිලවරණය කැඳවීමට පෙර අනුමත කර ගත යුතු බව අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට අවධාරණය කර තිබේ.

මේ අතර මෙම වසරේදී පැවැත්වීමට නියමිත ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ ගොන්නට ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලවරණයද අළුතින් එකතුවනු ඇතැයි වාර්තාවේ.   

පසුගිය අප්‍රේල් 1වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයකින් එවකට ක්‍රීඩා ඇමැතිධුරය දැරූ නාමල් රාජපක්ෂ මහතා විසින් ලියාපදිංචිය අත්හිටුවූ රග්බි සංගමයේ පරිපාලන කටයුතු මෙහෙයවීම මේ වනවිට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට තාවකාලිකව පවරා තිබේ.

රග්බි සංගමයේ අනාගතය පිළිබඳව ‘ලංකාදීප’ය කළ විමසුමකදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසුවේ එහි හිටපු විධායක සභාව අන්තර් ජාතික රග්බි සංගමය හා ආසියානු රග්බි සංගමයේ එකඟතාවයෙන් ඉදිරියේදී මෙරට රග්බි සංගමයට නව විධායක සභාවක් පත්කර ගැනීම සඳහා නිලවරණයක් කැඳවීමට තීරණය කර තිබෙන බවයි.

එහි පළමු කටයුත්ත ලෙස තව නොබෝ දිනකින් නිලවරණ කමිටුවක් පත්කර ගන්නා බවත් ඔහු පැවසීය.


නිළවරණ පැවැත්වෙන දින තහවුරු කළ ජාතික ක්‍රීඩා සංගම් :-
මැයි 17:- ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනය,
මැයි  20 ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය,
මැයි 23:- ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනය,
මැයි 26:- ශ්‍රී ලංකා හොකී සම්මේලනය, ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය.
මැයි 27:- ජාතික කඳු නැගීමේ සංගමය, ශ්‍රී ලංකා රුවල් ඔරු සංගමය.
මැයි 29:- ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනය.
මැයි 30:- ශ්‍රී ලංකා චෙස් සම්මේලනය
මැයි 31- ශ්‍රී ලංකා මේසපන්දු සංගමය, ශ්‍රී ලංකා කෝ-කෝ සංගමය, ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය.


2022 මැයි 31 වැනිදාට පෙර නිලවරණය කැඳවිය යුතු එහෙත් ඒ සඳහා දින තහවුරු කර නොමැති ජාතික ක්‍රීඩා සංගම්.
ශ්‍රී ලංකා ‘බ්‍රිජ්’ සම්මේලනය, ශ්‍රී ලංකා පාපන්දු ආයතනය, ශ්‍රී ලංකා අත්පන්දු (හෑන්ඩ්බෝල්) සම්මේලනය, ශ්‍රී ලංකා ජාතික රෝද සපත්තු සංගමය, ශ්‍රී ලංකා බෝල බැඩ්මින්ටන් සම්මේලනය, ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය, ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය, ශ්‍රී ලංකා ත්‍රෝබෝල් සම්මේලනය, ශ්‍රී ලංකා ආධුනික ‘සෙපැක්ටැක්රෝ’ සංගමය, ශ්‍රී ලංකා රෝල් බෝල් සම්මේලනය, ශ්‍රී ලංකා ‘මුයිතායි’ සංගමය, ශ්‍රී ලංකා කඩු සරඹ සම්මේලනය.


අදහස් (0)

මැයි 31 ට පෙර නිලවරණ තියන්න‘යි නියෝග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.