Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මේස පන්දු නිලවරණයේ අපැහැදිළි අන්ත දෙකක්

මේස පන්දු නිලවරණයේ අපැහැදිළි අන්ත දෙකක්

editorial - 2021 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මේ මස 29 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිලවරණය මේ මස 31 වැනිදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට එහි විධායක කමිටුව තීරණය කර ඇතැයි ‘ලංකාදීපය’ට වාර්තා‍වේ. ‍කෙසේ වුවත් අද (26 වැනිදා) වනතුරුත් ඒ පිළිබවඳව තමන් දැනුවත් වී නොමැති බව එම සංගමයේ අනුබද්ධ සංගම් සහ ක්‍රීඩා සමාජ  කියති.

විශ්‍රාමලත් නියෝජ්‍ය නාගරික කොමසාරිස් ජී.ජී. වීරක්කොඩි මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක අධීක්ෂණය මත මේසපන්දු සංගමයේ නිලවරණය පැවැත්වෙන අතර විශ්‍රාමලත් ගුවන් කොමදෝරු චන්දන ලියනගේ සහ විශ්‍රාමලත් ක්‍රීඩා අධ්‍යකෂ පාලිත ජයතිලක යන මහත්වරු එම කමිටුවේ සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කළ විමසුමකදී කමිටු සභාපතිවරයා කියා සිටියේ නිලවරණය පැවැත්වීමට පෙර සංගමයේ මහ සභා රැස්වීම පැවැත්විය යුතු බවත්, නව නිලධාරී මණ්ඩලයක් පත්වීමට පෙර පැරණි නිලධාරී මණ්ඩලය ඉකුත් වසරට අදාල විගණන වාර්තා‍ සභා සම්මත කළ යුතු බවත්ය.‍

“දැන් රටේ තියන වාතාවරණය ය‍ටතේ  සූම් තාක්ෂණය ඔස්සේ තමයි නිලවරණය පවත්වන්න වෙන්නෙ. ඒත් නිලවරණයට කලින් මහ සභා රැස්වීම තියන්නන ඕනේ. ඒක අපිට කරන්න බැහැ. ඒක සංගමයට අයිති වැඩක්. එයාලා මහ සභා රැස්වීම කැඳව්වට පස්සෙ තමා අපිට නිලවරණය පවත්වන්න පුලුවන් වෙන්නෙ.” යැයි නිලවරණ කමිටු සභාපති වීරක්කොඩි මහතා පැවසීය.

“සංගමයේ ලේකම්වරයා මගෙන් ඇහුවා 31 වැනිද‍ාට නිලවරණය පවත්වන්න පුලුවන්ද කියලා. මම එයාටත් කි‍ව්වෙ ඔයලා මහ සභා රැස්වීමේ වැඩ ටික ලැහැස්ති කරන්න. එදාට නිලවරණය පවත්වන්න අපි සූදානම් කියලයි.” යැයි යයිද හෙතෙම වැඩිදුරටත් කීවේය.
 
මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මේසපන්දු සංගමයේ ලේකම් චන්දන ශ්‍රීනාත් මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට කිහිපවරක්ම උත්සාහ ගත්තද, ඔහු ඊට ප්‍රතිචාර නොදැක්වීය. එහෙත් සංගමයේ උප සභාපතිවරියකගෙන් ඒ පිළිබඳව කළ විමසුමකදී ඇය මෙසේ කියා සිටියාය.   

“රටේ පවතින තත්ත්වය නිසා යොදා ගත්තු විධියට 29 වැනිදාට මහ සභා රැස්වීමයි, නිලවරණයි පවත්වන්න බැහැ කියලා ලේකම්වරයා සංගමයේ විධායක කමිටුවට දැනුම් දුන්නා‍. ඊට පස්සෙ සභාපතිවරයා එක්ක සාකච්ඡා කරලා 31 වැනිදාට මහ සභා රැස්වීමයි, නිලවරණයි සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන්න යොදාගත්තා කියලත් ඔහු විධායක කමිටුවව දැනුවත් කළා.” යැයි ඇය පැවසුවාය.
 
කෙසේ වෙතත් මේසපන්දු සංගමයට අනුබද්ධ සංගම් සහ ක්‍රීඩා සමාජ කිහිපයකගෙන්ම කළ විමසුමකදී ඔවුන් කියා සිටියේ සංගමයේ මහ සභ‍ා රැස්වීම සහ නිලවරණය 31 වැනිදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට යොදාගත් බව මේ වන තුරුත් ලේකම්වරයා ඔවුන්ට දැනුම් දී නොමැති බවය.

“මහ සභා රැස්වීම පැවැත්වෙන දිනය වෙනස් කරනවා නම් ඒ ගැන සංගමයට අනුබද්ධ සංගම්වලටයි, ක්‍රීඩා සමාජවලටයි දැනුම් දෙන්න ඕනෙ. පැවැත්වෙන්නෙ සූම් තාක්ෂණය ඔස්සේ නම් ඒ සඳහා සූදානම් වෙන්න ටිකක් කල් ඇතිව ඒක දැනුම් දෙන්න ඕනෙ. එහෙම නැතුව එක පාරටම මහ සභා රැස්වීමක් හෝ නිලවරණයක් පවත්වන්න බැහැ.” යැයි එක් ක්‍රීඩා සමාජයක නියෝජිතයෙක් කියා සිටියේය.

මේසපන්දු සංගමයේ නිලවරණයට අදාල නාම යෝජනා භාරගැනීම ඉකුත් 6 වැනිදා අවසන් වූ අතර එම නාම යෝජනා සදහා විරෝධතා යොමු කිරීමට 6 වැනිදා සිට 10 වැනිදා දක්වා අවස්ථාව හිමිවිය. විරෝධතා විභාග කිරීම 12 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඉදිරිපත් වී තිබූ නාම යෝජනා සඳහා කිසිදු විරෝධතාවක් යොමුකර නොතිබිණ.

 


අදහස් (0)

මේස පන්දු නිලවරණයේ අපැහැදිළි අන්ත දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.