Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වැටුප් ප‍්‍රශ්නය විසඳන්න කැබිනට් අනුකමිටුවක්

වැටුප් ප‍්‍රශ්නය විසඳන්න කැබිනට් අනුකමිටුවක්

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රීඩා නිලධාරීන්ගේ වැටුප් ප‍්‍රශ්නය විසඳීම සඳහා ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ඉල්ලීමක් පරිදි කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

එම කමිටුවට ජනාධිපතිවරයා, අගමැතිවරයා, මුදල් ඇමැතිවරයා හා ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් පත්කරනු ලබන නියෝජිතයෙක් බැගින් පත්කෙරේ. එම කමිටුවේ කාර්යභාරය වන්නේ දැනට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන ක‍්‍රීඩා නිලධාරීන්ගේ වැටුප් විෂමතා සඳහා ඉදිරිපත් කර තිබෙන යෝජනාවලිය අධ්‍යයනය කර සුදුසු පියවර නිර්දේශ කිරීමය.

වසර කීපයක් තිස්සේ නොවිසඳී පවතින ක‍්‍රීඩා නිලධාරීන්ගේ වැටුප් විෂමතා ප‍්‍රශ්නය නිරාකරණය සඳහා ක‍්‍රීඩා ඇමැතිවරයා පත්වී දින කීපයක් තුළදී ගත් උත්සාහය පිළිබඳව මේ වනවිට සමස්ත ලංකා ක‍්‍රීඩා නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රසාදය පළ වී තිබේ.

මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් හිටපු ක‍්‍රීඩා ඇමැතිවරුන් වූ මහින්දානන්ද අලූත්ගමගේ හා නවීන් දිසානායක යන මහත්වරු මැදිහත් වූ නමුත් ප‍්‍රතිඵලයක් අත් නොවිණි.

සිය වෘත්තීය අරගලයට මෙතෙක් පැහැදිළි විසඳුමක් නොලැබුණු බව පවසන සමස්ත ලංකා ක‍්‍රීඩා නිලධාරීන්ගේ සංගමයේ සභාපති රෝහණ ජයලාල් මහතා නව ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සමග සිය සංගමය නොබෝදා පැවැති සාකච්ඡුා පළදායි වූ බවද පැවැසීය.

පළාත් ක‍්‍රීඩා නිලධාරීන් 440 දෙනෙක් සමස්ත ලංකා ක‍්‍රීඩා නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය දරති. ක‍්‍රීඩා අමාත්‍යාංශයේ රේඛීය සේවයේ නිරත ක‍්‍රීඩා නිලධාරීන්ගේ ගණන 166කි.

‘ලංකාදීප’ය කළ විමසුමකදී ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසුවේ මෙම ප‍්‍රශ්නය නිසා ක‍්‍රීඩා නිලධාරීන් වර්ජන ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටින බව තමන්ට දැනගන්නට ලැබුණු බවයි. මීළඟ 41 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙල සාර්ථක කර ගැනීම සඳහා ඔවුන්ගේ ගැටළුව නිරාකරණය කළ යුතු බැවින් තමන් ඒ පිළිබඳව නව රජයේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදීම සාකච්ඡා කළ බවත් ඇමැතිවරයා පැවැසීය.

වසර 2012 සිට වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටින සමස්ත ලංකා ක‍්‍රීඩා නිලධාරීන්ගේ සංගමය මේ වනවිට වර්ජන ක‍්‍රියාමාර්ගයක් අනුගමනය කරයි. මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා අන්තර් දිස්ත‍්‍රික් ක‍්‍රීඩා උළෙල රැසක් අත්හිටුවීමට සිදුව තිබේ.

පසුගිය වසරේ අනුරාධපුරයේ පැවැති 40 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙල වර්ජනය කළ සමස්ත ලංකා ක‍්‍රීඩා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ‘ලංකාදීප’යට පැවැසුවේ සිය ගැටළුවට විසඳුමක් නොලැබුණහොත් මෙවර ජාතික මහ ක‍්‍රීඩා උළෙල ද වර්ජනය කිරීමට ගෙන තිබෙන තීරණය වෙනස් නොකරන බවය.

41 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙල නොවැම්බර් මාසය නිමාවට පත්වීමට පෙර පවත්වා අවසන් කරන බව ක‍්‍රීඩා ඇමැතිවරයා පවසයි. මෙවර ක‍්‍රීඩා උළෙල දියගම මහින්ද රාජපක්ෂ පිටියේ දී පැවැත්වීමට දැන් තීරණය වී තිබේ.


●●●


අදහස් (0)

වැටුප් ප‍්‍රශ්නය විසඳන්න කැබිනට් අනුකමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.