Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
රුසියාවේදී නිමාවට පත්වූ ලෝක ශූරතා මල්ලවපොර කනිෂ්ඨ තරගාවලියේදී ශ්‍රී ලංකාව කණ්ඩායම් (කාන්තා) ඉසව්වෙන් 21 වැනි ස්ථානයත්, එහි පිරිමි ඉසව්වෙන් 29 වැනි ස්ථානයත් ලැබීය.
මෙම තරගමාලාව සඳහා එක්වූ රටවල් ගණන 52කි. මෙම තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකා ක්‍රීඩිකා නෙත්මි අහිංසා ප්‍රනාන්දු කිලෝග්‍රෑම් 57 බර පන්තිය (කාන්තා) ඉසව්වෙන් තරග වැදී මෙහිදී අත්කරගත් ස්ථානය අටවැනි ස්ථානයයි. එම තරග ඉසව්වට එක්වූ රටවල් ගණන 14කි.
කිලෝග්‍රෑම් 53 බර පන්තිය (කාන්තා) ඉසව්වෙන් තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමෝද්‍යා කේෂාණි මධුරන්වලගේ ක්‍රීඩිකාවත් 13 දෙනකු අතරින් 9 වැනි තැනට පත්වූවාය.
මෙම තරගාවලියට සහභාගි වූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූයේ චමෝත් නෙත්මිණ පෙරේරාය. කිලෝ ග්‍රෑම් 70 බර පන්තිය (පිරිමි) ඉසව්වෙන් ඔහු ලබාගත් ස්ථානය වූයේ 20 වැනි ස්ථානයයි. ඒ, ක්‍රීඩකයන් 21 දෙනකු අතරිනි.
මෙම ලෝක ශූරතා කනිෂ්ඨ මල්ලවපොර තරග මාලාවේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් ප්‍රකට වූ දස්කම වූයේ, ප්‍රතිවාදිනියන් හමුවේ මුළු තරග කාලය පුරා පොර බැදීමට දැරූ සාර්ථක උත්සාහයයි. ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමෝද්‍යා, ඇමෙරිකානු ක්‍රීඩිකා ජස්ලින් ඉසබෙලා සමග පැවැති තරගය වඩාත් තියුණු මුහුණුවරක් ගත්තේ විනාඩි හයට තරගය ඇදී යාමෙනි. එහිදී තරගය නිමා වූයේ ඇමෙරිකානු ක්‍රීඩිකාවට 13–03ක ජයක් අත්වෙමිනි.
කිලෝග්‍රෑම් 57 බර පන්තියෙන් තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකා 17 හැවිරිදි නෙත්මි අහිංසා මූලික වටයේදී ඉතාලි ක්‍රීඩිකා අසුරෝරා රුසෝ සමග විනාඩි 4 තත්පර 25ක් දක්වා සටන් කරමින් ලකුණු දෙකක් ද ලැබුවාය. තරගය විසඳුණේ ඉතාලි ක්‍රීඩිකාව ලකුණු 12-02කින් ජය ගනිමිනි. ඇගේ දෙවැනි ප්‍රතිවාදිනිය වූ කසකස්තානයේ සෙහිම් සුමෝනාසරෝබා සමග තරගයේදී විනාඩි 5 තත්පර 43ක් ගත කළ නෙත්මිට එහිදී 15-04ක පරාජයක් අත්වූවාය.
ශ්‍රී ලංකා ක්‍රීඩක චමෝත් නෙත්මිණ, මෝල්ඩා ක්‍රීඩක ස්ටැනිස්ලබ් නොවාස් සමග කිලෝග්‍රෑම් 70 බර පන්තිය ඉසව්වත් විනාඩි දෙකකට ආසන්න කාලයක් තරග වැදී පරාජයට පත්වූයේ ලකුණු 12–0ක් ලෙසටය. මෙම ඉසව්වේ තරග වැදුණු ක්‍රීඩකයන් 21 දෙනා අතරින් කිසිදු ලකුණක් ලබා නොගත් ක්‍රීඩකයන් ගණන 11කි.
මෙවර ලෝක කනිෂ්ඨ තරගාවලියේදී ශ්‍රී ලංකාව අත්කරගත් ප්‍රතිඵලය ගැන ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා ‘ලංකාදීප’යට මෙසේ පැවැසීය.
“මෙතැනදී වැදගත්ම කාරණය වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙතෙක් පැවැති කිසිදු ජාත්‍යන්තර තරගාවලියකදී ප්‍රතිවාදීන් හමුවේ ඉසව්වක මුළු විනාඩි හයක කාලය ගතකරලා නෑ. මීට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයකුගේ වැඩිම තරග කාලය වෙලා තිබෙන්නේ විනාඩියක් තරම් කාලයක් පමණයි. නමුත් අපේ ළාබාල ක්‍රීඩිකාවන් දෙදෙනා මුළු තරග කාලයම ගත කිරීම අගය කළ යුත්තක්“
“අනිත් කාරණය, අපි මේ ලෝක තරගාවලියට සහභාගි වෙන්නෙත් පළමු වතාවටයි. අපිට රුපියල් ලක්‍ෂ 17ක් විතර මේ තරග සංචාරයට වැය වුණා. ඊටත් වඩා මුළු ලෝකයම කොවිඩ් වසංගතයෙන් වෙළිලා ඉන්න තත්ත්වයක් තුළත් අපි මේ තරග සංචාරය දුෂ්කරතා රැසක් මැද සාර්ථක කරගත්තා.”
සුරංග කුමර මහතා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේය. තරගාවලියේ සමස්ත ශූරතාව ඉරානය විසින් දිනා ගන්නා ලදී. කාන්තා ශූරතාව හිමි වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයටයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.