Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව හෙට තීරණාත්මක තරගයක

ශ්‍රී ලංකාව හෙට තීරණාත්මක තරගයක

රොෂාන් ගුණරත්න - 2018 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දොළොස් වැනි දකුණු ආසියානු පාපන්දු සම්මේලන (සාෆ්) කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව හෙට (7) දා මාලදිවයිනට එරෙහිව තීරණාත්මක තරගයට සහභාගිවීමට නියමිතය. බංග්ලාදේශයේ ඩකා නුවර බංගාබන්දු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියේ ‘බී කාණ්ඩයේ දෙවැනි තරගය මෙය වේ. 

මේ වනවිට ඉන්දියාවට ගෝල් 2-0ක් ලෙස පරාජය වී සිටින ශ්‍රී ලංකාව හෙට තරගයේදී මාලදිවයිනට පරාජය වුවහොත් අනිද්දා (8 දා) ශ්‍රී ලංකාවට පැමිණිය යුතුවේ. යම් හෙයකින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය ලැබුවහොත් 9 දා පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ මාලදිවයින අතර තරගයේ ප්‍රතිඵලය මත ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයට වරම් ලැබීම හෝ නොලැබීම තීරණය වනු ඇත.

“මට විශ්වාසයි අපේ කණ්ඩායම මාලදිවයිනට එරෙහිව ජයග්‍රහණය ලබන බවට. ඉන්දියාව සමඟ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සුපුරුදු ක්‍රීඩා විලාසය ප්‍රදර්ශනය වූයේ නැහැ” යයි පැවැසූ කණ්ඩායමේ පුහුණුකරු නිශාම් පාකීර් අලී මහතා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හෙට තරගයේදී සුපුරුදු දස්කම් ප්‍රදර්ශනය කරනු අතැයි හෙතෙම විශ්වාසය පළ කළේය.

දකුණු ආසියානු පාපන්දු තරගාවලි ඉතිහාසයේ මාලදිවයින එක් අවස්ථාවක පමණක් (2008) එම ශූරතාව දිනා ඇති අතර 1997, 2003 සහ 2009 වසරවල අනුශූරතාව දිනා සිටී. 

වසර 25 ක තරගාවලි ඉතිහාසයේ මාලදිවයින අවස්ථා 9 කදී මෙම තරගාවලියට සහභාගි වී ඇත. ඒ යටතේ තරග 39 කට සහභාගිවී ඇති මාලදිවයින ජයග්‍රහණ 20 ක් හිමි කරගෙන තිබේ. තරග 10 ක් ජය පැරදුමෙන් තොරව අවසන් කර ඇත. මාලදිවයින තරග 9 කින් පරාජයට පත්ව සිටී.

ජාත්‍යන්තර පාපන්දු නවතම වර්ගීකරණය අනුව මාලදිවයින 150 වැනි ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව 200 වැනි ස්ථානයේ රැඳී සිටී.

මේ අතර මාලදිවයිනේ පළමු පෙළ පාපන්දු සමාජයක් වන ඊගල්ස් කණ්ඩායමේ වෘත්තීය ක්‍රීඩකයකු වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දැල රකින්නා වන සුජාන් පෙරේරා මෙම තරගයේදී ශ්‍රී ලාංකිකත්වය දැඩිව ආරක්ෂා කරනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු පකිර් අලී මහතා විශ්වාසය පළ කරයි.

මාලදිවයිනේ වෘත්තීය ක්‍රීඩකයකුවන සුජාන් පෙරේරා මාලදිවයිනට එරෙහිව තරගවදින විට කිසියම් සැක කටයුතු තත්ත්වයක් මතුවිය හැකි නොවේ දැයි මාධ්‍යයෙන් නැගුණු ප්‍රශ්නයකදී “නැහැ මට සුජාන් විශ්වාසයි. ඔහුටත් මෙය හොඳ අවස්ථාවක් තමා කෙරෙහි ඇති අවිශ්වාසය දුරු කර ගැනීමට” යයි පුහුණුකරු පෙන්වා දුන්නේය.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව හෙට තීරණාත්මක තරගයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.