Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව - මාලදිවයින තරගය සමයි

ශ්‍රී ලංකාව - මාලදිවයින තරගය සමයි

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ ඩකා අගනුවර බංගා බන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඊයේ (7 වැනිදා) පැවැති ‘බී’ කාණ්ඩයේ තරගය ගෝල 0-0 ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් විය.

මෙම තරගයේ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකාව සහ මාලදිවයින ප්‍රසාද ලකුණු 1 බැගින් ලබා ඉන්දියාවට පසුපසින් සිටී. එබැවින් ඉන්දියාව සහ මාලදිවයින අතර අද (8 වැනිදා) පැවැත්වෙන තරගයේදී ඉන්දියාව විසින් මාලදිවයින පරාජයට පත් කළහොත් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

යම් හෙයකින් මාලදිවයින විසින් ඉන්දියාව පරාජයට පත් කරනු ලැබුවහොත් මාලදිවයිනට අවසන් පූර්ව වටයට වරම් ලැබීමේ අවස්ථාව හිමිවනු ඇත.

දකුණු ආසියානු පාපන්දු තරගාවලි ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මාලදිවයින ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්ව නොතිබීමද විශේෂත්වයකි. නවතම ජගත් පාපන්දු වර්ගීකරණය අනුව මාලදිවයින 150 වැනි ස්ථානයේ පසුවන ප්‍රබල කණ්ඩායමක් වුවද ඊයේ පැවැති තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මාලදිවයිනට තියුණු අභියෝගයක් එල්ල කිරීමට සමත්වූහ.

දෙරට අතර පැවැති තරගයේ මිනිත්තු 90 කාලය ආරම්භයේ සිට අවසාන තත්ත්පරය දක්වා දැඩි තරගකාරි රටාවක් ප්‍රදර්ශනය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දෙපිලම ගෝල දෙකක් වාර්තා කළ නමුදු එම ගෝල දෙකම ඕෆ් සයිඞ් ගෝල විය. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන පාසල් ක්‍රීඩක අසේල මධුෂාන් සහ මාලදිවයින් ක්‍රීඩක රහාම් අබ්දුල් විසින් එම ඕෆ් සයිඞ් ගෝල වාර්තා කළහ.

දැන් ක්‍රියාත්මක වන දකුණු ආසියානු පාපන්දු තරගාවලිය යටතේ මෙතෙක් පැවැති උණුසුම්ම තරගය මෙය ලෙස වාර්තාවූ අතර එම තරගය නැරැඹීම සඳහා අති විශාල පිරිසක් බංගබන්දු ක්‍රීඩාංගණයට එක්ව සිටිනු අයුරු දක්නට ලැබීය.

දෙපිලේම ආරක්ෂක පෙළ ශක්තිමත්ව පැවැතීම හේතුවෙන් ඕෆ් සයිඞ් ගෝල 2 ට අමතර තවත් ගෝල් වාර්තා කිරීමේ අවස්ථා 6 ක් දෙපිලටම අහිමිවිය.

ඊයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායකයා ඉවත් කර ගෝල් රකින සුජාන් පෙරේරා නායකත්වයට පත් කිරීමට පාපන්දු කළමණාකාරිත්වය පියවර ගෙන තිබිණි.

“සුජාන් පෙරේරා මාලදිවයිනේ වෘත්තිය පාපන්දු ක්‍රීඩකයෙක්. ඔහු අතින් යම් විටකදී අතපසුවීමක් සිදුවුවහොත් වැරැදි මතයක් මතුවිය හැකියි. එම නිසා ඔහුට අපි නායකත්වය මෙම තරගයේදී පිරිනැමුවා”
“සුජාන් නායකත්වයේ වගකීම සහ දැළ රැකීමේ කාර්යය හොඳින් ඉටුකළා” යැයි පාපන්දු බලධාරීහු පවසති.
මේ අතර තරගය විනිශ්චයේ යෙදුණු විනිසුරුවන් එතරම් හොඳින් එම කාර්යය ඉටු නොකළ බවටද ශ්‍රී ලංකා පාපන්දු බලධාරීහු පවසති.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව - මාලදිවයින තරගය සමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.