Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ෂේන් වොට්සන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනී

ෂේන් වොට්සන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනී

editorial - 2020 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 20 කින් සමන්විත සිය ක්‍රීඩා දිවියට තිත තබමින් ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම ආකෘතිවලින් සමුගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු තුන් ඉරියවු ක්‍රීඩක ෂේන් වොට්සන් තීරණය කර ඇත‍. මේ වන විට 39 වැනි වියේ පසුවන වොට්සන් 2016 වසරේදී ජාත්‍යන්තර තරග බිමෙන් සමුගත් අතර ඉන් අනතරුව ඕස්ට්‍රේලියාවේ සහ විවිධ රටවල විස්සයි20 ලීග සඳහා සහභාගි විය.

ජාත්‍යන්තර තරග බිමෙන් සමුගන්නා විට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 59 කට, එක්දින තරග 190 කට සහ විස්සයි20 තරග 58 කට ක්‍රීඩා කර සිටි වොට්සන්, 2008 සිට 2020 දක්වා රජස්ථාන්, බැංගලෝර් සහ චෙන්නායි කණ්ඩායම් නියෝජනය කරමින් අයි.පී.එල්. තරග 145 කට ක්‍රීඩා කළේය.

ඉකුත් 29 වැනිදා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව සහභාගි වූ තරගය වොට්සන්ගේ ක්‍රීඩා‍ දිවියේ අවසන් තරගය විය. එහිදී ඔහු ලකුණු 14 කට දැවීගිය නමුත් චෙන්නායි කණ්ඩායම කඩුලු 6 ක ජයක් ලැබිය.

“චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් මාගේ අවසන් තරගය ක්‍රීඩා කළ බව දැනුම් දෙන්න කැමතියි. දැන් මට අවුරුදු 39 ක්. ඒ නිසා ක්‍රීඩාවෙන් සමුගන්න නියම කාලය මෙයයි කියා මා සිතනවා” යැයි සිය සමුගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් වොට්සන් කියා සිටියේය.

ලොව වටා විස්සයි20 ලීග්වලට සහභාගි වෙමින් තරග 343 කදී ශතක 6 ක් සහ අර්ධ ශතක 53 ක් සමග ලකුණු 8821 ක් රැස්කළ වොට්සන්, එහිදී බිඳහෙළූ කඩුලු සංඛ්‍යාව 216 කි. ඉන් ලකුණු 3874 ක් රැස්කිරීමටත්, කඩුලු 92 ක් බිඳහෙළීමටත් ඔහු සමත් වූයේ අයි.පී.එල්. තරග බිමේදීය. ඊට කඩුලු ත්‍රිත්වයක්ද ඇතුළත් විය.

2008 වසරේදී අයි.පී.එල්. ශූරතාව දිනාගත් රාජස්ථාන රෝයල්ස් කණ්ඩායමේද, 2018 වසරේදී අයි.පී.එල්. ශූරතාව දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේද සාමාජිකයකු වූ වොට්සන්, 2008 වසරේදී සහ 2016 වසරේදී පැවැති අයි.පී.එල්. තරගාවලීන්හි දක්ෂතම ක්‍රීඩකයා ලෙසද සම්මාන ලැබීය.

-036


අදහස් (0)

ෂේන් වොට්සන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.