ස්මිත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අධ්‍යක්ෂ ධූරයට
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණඩායමේ හිටපු නායක ග්‍රේම් ස්මිත් ස්ථිර පදනමක් මත දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා ලෙස පත් කරගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. මේ වන විට 39 හැවිරිදි ස්මිත්ට ඉකුත් දෙසැම්බර් මාසයේදී නිල නොවන ආකාරයෙන් මෙම රැකියාව ලබා දී ඇති නමුත් මේ වන විට එය වසර දෙකක් සඳහා ගිවිසුම් ගතකර තිබේ.
ඉකුත් දෙසැම්බර් සහ ජනවාරි මාසවල දකුණු අප්‍රිකාවේදී පැවැති ටෙස්ට් තරගාවලිය එංගලන්තය හමුවේ 3-1 ක් ලෙස පරාජයට පත්වූවද එම අවස්ථාවේදීත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කළේ ස්මිත්ය.
“දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමින් යළිත් ප්‍රබල තැනකට ගෙන ඒමට මම අධිෂ්ඨාන කරගෙන ඉන්නවා. මගේ පත්වීම මගේ තනතුරට යම් මට්ටමක ස්ථීරභාවයක් හිමිකර දෙනවා. ඒ වගේම එය මට ඉදිරි මාවත සැලසුම් කිරීම පහසු කරනවා.” යැයි ස්මිත් පැවසීය.
“ජාත්‍යන්තර මට්ටමින් පමණක් නොව අපගේ දේශීයතරගාවලීන් තුළද තවත් විශාල වැඩ කොටසක් කළ යුතුව තිබෙනවා.” යැයි පැවසූ ස්මිත්, දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහා ක්වින්ටින් ඩි’කොක් පත් නොකරන බවද සඳහන් කළේය.
“පෞද්ගලික අත්දැකීම් වලින් මම දන්නවා ආකෘති තුනේ මේ නායකත්වය සඳහා එක් අයෙක් පත්කිරීම අභියෝගයක් කියලා. අපට කිසිසේත්ම ඩි’කොක් මත බර පැටවීමට අවශ්‍ය නැහැ.” යැයි එහිදී ඔහු කීය.
දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ජැක් ෆෝල් මහතා කියා සිටියේ නිල නොවන ආකාරයෙන් කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීමේදී ස්මිත් සතුව පැවති ශක්තිය, විශේෂඥතාව, වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ හැකියාව සහ අධිෂ්ඨානය ඔහුව මෙම තනතුරට ගෙන ආ බවයි.
2002 වසරේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් ස්මිත්, 2003 වසරේදී ෂෝන් පොලොක්ගෙන් පසුව කණ්ඩායමේ නායකත්වයට පත් වූයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමක නායකත්වයට පත්වූ ලාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තාවක්ද පිහිටුවමිනි. ඒ වන විට ඔහු 22 වැනි වියේ පසුවිය.
වසර 12 ක සිය ක්‍රීඩා දිවිය තුළ ටෙස්ට් තරග 117 කට, එක්දින තරග 197 කට සහ විස්සයි20 තරග 33 කට ක්‍රීඩා කළ ස්මිත් 2014 වසරේදී ක්‍රීඩාවෙන් සමුගත්තේය. ඒ වන විට ටෙස්ට් ලකුණු 9265 ක් ලබා සිටි ස්මිත් දකුණු අප්‍රිකාව වෙනුවෙන් තුන්වැනි වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවාය.
එක්දින තරග 197 කදී ලකුණු 6989 ක් ලබාගත් ස්මිත් විස්සයි-20 තරග 33 කට ක්‍රීඩා කළද තවත් ලකුණු 18 ක් ලබාගත හැකිවූයේ නම් ලකුණු 1000 කඩයිම පසුකර යා හැකිව තිබිණ.
-036