Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී. ආර්. ක්‍රීඩකයෝ පරාජයේ වාඩුව සොයති

සී. ආර්. ක්‍රීඩකයෝ පරාජයේ වාඩුව සොයති

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පළමු වටය නිමාවට පත්වෙද්දී ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැන අත්පත් කරගත් යුද හමුදා රග්බි කණ්ඩායම අද (29) පස්වරුවේ හැව්ලොක්ස් පිටියේදී සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමග දෙවැනි වටයේ සිය පළමු තරගයට මුහුණ දෙයි. පළමු තරග වටයේ දී යුද හමුදා පිල හමුවේ පරාජයට පත්වූ සී.ආර්.කණ්ඩායම අද තරගයේදී එම පරාජයේ වාඩුව පිරිමසා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන අතර ජයග්‍රහණයෙන් දෙවැනි වටය ආරම්භ කර ප්‍රසාද ලකුණු සටහනේ මුල්පෙළ තැනක් අත්කර ගැනීමේ අභිප්‍රායෙන් යුද හමුදාව තරගයට එක්වෙයි.

දෙවැනි වටයේ පළමු සති අන්තයේ කාගෙත් අවධානය දිනාගන්නා තරගය බවට පත්වී ඇති මේ තරගයට යුද හමුදා පිල එක්වන්නේ ඉහළ මානසිකත්වයෙන් යුතුවය. නිල්ෆර් ඉබ්‍රාහිම් මහතාගේ පුහුණුකාරීත්වයෙන් යුතු යුද හමුදා පිල මෙවර තරගාවලියේ පළමු වරට තුන්වැනි තැන අත්කර ගනු ලැබුවේ එතෙක් එම ස්‘ථානයේ පසුවූ නාවික හමුදා කණ්ඩායම සිවුවැනි තැනට පත් කරමිනි.

පළමු වටයේ සිය අවසන් තරගයෙන් සී.එච්. ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායම හමුවේ ලකුණු 27-24 ක සියුම් පරාජයක් ලැබූ නැවියන් දෙවැනි වටයේ සිය පළමු තරගයට පිවිසෙන්නේ පරාජයේ වේදනාව අකාමකා දැමීමේ අරමුණත්, තම කණ්ඩායමෙන් ගිලිහී ගිය තුන්වැනි තැනත් නැවත අත්පත් කරගැනීමේ බලාපොරොත්තුවෙනි. මෙවර තරගාවලියේ වඩාත්ම කැපී පෙනෙන කණ්ඩායම බවට පත්වී සිටින සී.එච්. කණ්ඩායම හමුවේ එම අභියෝගය ජයගැනිම එතරම් පහසු කරුණක් නම් නොවනු නිසැකය. විශේෂයෙන් කාලයක් එකම කණ්ඩායමකට ක්‍රීඩා කළ ප්‍රබල ක්‍රීඩකයන්ගේ තරම හොඳින්ම දන්නා බැවින් නැවියන්ගේ සියලු සැලසුම් වේලසනින්ම අවබෝධ කරගනිමින් තරගයේ පාලනය සියතට ගැනිමට සී.එච්. පිලේ ක්‍රීඩකයෝ දක්වන්නේ පුදුමාකාර දස්කමකි.

මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්වී සිටින මහනුවර ක්‍රීඩා සමාජය මෙවරත් සිය කුසලානය රැකගැනීමේ බලාපොරොත්තු අතැතිව අනිද්දා (30) පොලිස් ක්‍රීඩා සමාජය සමග නිත්තවෙලදී තරග වදී. දැනටමත් කුසලානය හඹා යන සෙසු කණ්ඩායම්වලින් මිදී සෑහෙන ලකුණු පරතරයක් තබාගෙන සිටින මහනුවර පිලේ අදිටන වී ඇත්තේ අනිද්දා තරගයේදී මෙතෙක් කිසිදු ජයග්‍රහණයක් නොලබා සෑම කණ්ඩායමකින්ම බැට කමින් සිටින පොලිස් පිල බිමට සමතලා කර දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමය. එය ඔවුන් පසුපස හඹා එන සෙසු කණ්ඩායම්වලින් මිදී තවදුරටත් පෙරමුණේ රැඳී සිටීමට සෙංකඩගල පුරවරයේ ක්‍රීඩකයන්ට විශාල රුකුලක් වනු ඇත.

දැනටමත් ලකුණු 11කින් මහනුවර පිලට වඩා පසුපසින් සිටින හැව්ලොක්ස් පිලට අනිද්දා තරගයේදී ප්‍රසාද ලකුණක් සමග ජයග්‍රහණය ලබාගැනීමට නම් උත්සාහක දිනුම් 4කට වඩා තැබිය යුතුව තිබේ.

 


අදහස් (0)

සී. ආර්. ක්‍රීඩකයෝ පරාජයේ වාඩුව සොයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.