Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී. එච්. ක්‍රීඩකයෝ තවත් ජයක් සොයති

සී. එච්. ක්‍රීඩකයෝ තවත් ජයක් සොයති

Nisanka Sandeepani - 2018 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් වරට පැවැති තරග කිහිපය පුරාම සටන්කාමී ක්‍රීඩා විලාසයක නිරතවූ පෙරළිකාර සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ සිය පළමු ජයග්‍රහණය සොයා යමින් සිටී. සී.එච් පිල සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර තරගය හෙට (6) පස්වරු 6.20ට හැව්ලොක්ස් පිටියේදී පැවැත්වේ.
 
ගුවන් හමුදා පිලට එරෙහිව පසුගිය සතියේදී ලකුණු 34-18 ක පහසු ජයක් ලැබීමට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන පසුවන හැව්ලොක්ස් පිල සමත්වූවත් හෙට තරගයේදී නම් එවැනි ජයග්‍රහණයකට සී.එච්. පිල වෙතින් බුරුලක් නොලැබෙනු ඇත. දෙපිල අතර පළමු වටයේ පැවැති තරගය දැඩි සටනකින් පසුව හැව්ලොක්ස් පිල ජය ලැබුවේ ලකුණු 31-26 කිනි. 
 
සටන්කාමී ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත සී.එච්. පිලේ සැමුවෙල් මධුවන්ත තරගාවලියේ වැඩිම සමස්ත ලකුණු ලාභීන් අතර සිටින්නේ මහනුවර පිලේ තිළිණ විජේසිංහ සමග සම තුන්වැනි තැන හිමිකර ගනිමිනි. යෝෂිත රාජපක්ෂ, ලී කීගල්, අවන්ත ලී, අවිශ්ක ලී සිය කණ්ඩායමේ සාර්ථකත්වයට විශිෂ්ට දායකත්වයක් ලබා දෙමින් සිටිති. 
 
එසේ වුවත් තරගාවලිය ආරම්භයේ සිටම දෙවැනි තැන රැක ගැනීමට සමත්වූ හැව්ලොක්ස් පිල හෙට තරගයේ ජයග්‍රහණයට වඩාත්ම සමීප කණ්ඩායමයි. රීසා මුබාරක්, දුලාජ් පෙරේරා, කෙවින් ඩික්සන්, ප්‍රසාද් මධුසංඛ සිය කණ්ඩායමේ ජයග්‍රහණ රැසකට උරදුන් ක්‍රීඩකයෝ වෙති. 
 
තරගාවලියේ මෙතෙක් එකම අපරාජිත කණ්ඩායම වන වත්මන් ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජය සිය ජයග්‍රහණ රැල්ලට තවත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව හෙට රත්මලානට පැමිණෙයි. 
 
ගුවන් හමුදා කණ්ඩායම සමග හෙට පස්වරුවේ පැවැත්වෙන ඔවුන්ගේ දෙවැනි වටයේ දෙවැනි තරගය කුසලානය හඹා යන ගමන් මග වේගවත් කිරීමට ඉවහල් වනු ඇත. විශිෂ්ට ක්‍රීඩා රටාවකින් යුතු ක්‍රීඩකයන් ගොන්නක්ම සිටින මහනුවර පිල මේ වනවිට ප්‍රසාද ලකුණු 46ක් ලබා පෙරමුණේ පසුවන්නේ සහභාගි වු තරග අටම ජයගනිමිනි. 
 
මෙතෙක් වැඩිම උත්සාහක දිනුම් ලාභීන් අතර පළමු ස්ථාන 4ම අයිති මහනුවරටය. අනුරුද්ධ විල්වර උත්සාහක දිනුම් 9ක් තබා පෙරමුණේ පසුවන අතර ධනුෂ්ක රන්ජන් උත්සාහක දිනුම් 7ක් ද, රිචඞ් ධර්මපාල උත්සාහක දිනුම් 6ක් ද, තිළිණ විජේසිංහ උත්සාහක දිනුම් 5 ක්ද තබා ලැයිස්තුවේ මුල්පෙළ සිටිති. 
 
මේ අතර ලකුණු සටහනේ පස්වැනි තැන සිටින සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ කිසිදු ජයක් නොලබා අවසන් තැන සිටින පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගයත් හෙට පස්වරුවේ පොලිස් පිටියේදී පැවැත්වීමට නියමිතය. තරගයේ ජයග්‍රහණය සහතික වුවත් සී.ආර්.පිලේ අදිටන වී ඇත්තේ වැඩි උත්සාහක දිනුම්  සංඛ්‍යාවක් තබා ප්‍රසාද ලකුණක් සහිතව තරගය ජයගැනීමටය. එය කුසලාන සටනේ ඉදිරිපෙළ තැනක් අල්ලා ගැනීමට ඔවුන්ට රුකුලක් වනු ඇත. 
 
සී.ආර්.පිල මේ වනවිට ප්‍රසාද ලකුණු 24 ක් ලබා පස්වැනි තැන පසුවෙයි. එහෙත් ඉදිරියෙන් සිටින සෙසු කණ්ඩායම් අතරට එක්වීමට ඔවුන්ට අවස්ථාවක් උදාවී ඇත්තේ ලකුණු අතර පරතරය එතරම් නොවන නිසාය. සිවුවැනි තැන සිටින යුද හමුදාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 25කි. තුන්වැනි තැන සිටින නාවික හමුදා පිලේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 28කි. දෙවැනි තැන සිටින හැව්ලොක්ස් පිල ප්‍රසාද ලකුණු 35ක් ලබා සිටී.
 
මේ සති අන්තයේ තරගවලින් වැඩිම අවධානය දිනාගන්නා තරගය බවට පත්වී ඇත්තේ යුද හමුදා පිල සහ නාවික හමුදා පිල අතර ඉරිදා (7) හැව්ලොක්ස් පිටියේ පැවැත්වෙන තරගයයි.
 
ලකුණු සටහනේ තුන්වැනි තැන පසුවන නාවික හමුදා පිල සහ සිවුවැනි තැන සිටින යුද හමුදා පිල මේ තරගයට එක්වන්නේ ඔවුනොවුන්ගේ උපරිම දස්කම් විදහා පෑමේ බලාපොරොත්තුව ඇතිවය. ලකුණු සටහනේ පහළට ඇද වැටීමට එක් පරාජයක් හොඳටෝම ප්‍රමාණවත් බැවින් ජයග්‍රහණයෙන් තරගය කෙළවර කරගැනීම දෙපිලේම අධිෂ්ඨානය වී තිබේ. 
 
පසුගිය සතියේදී සී.එච්. පිල හමුවේ සියුම් ජයක් ලැබීමට නාවික හමුදා පිල සමත් වූ අතර සී.ආර්.පිල හමුවේ සියුම් පරාජයක් අත් විඳීමට යුද හමුදා පිලට සිදුවිය. මේ තරගයට දෙපිලම එක්වන්නේ ඔවුනොවුන්ගේ ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනකුගේ දායකත්වය නොමැතිවය. යුද හමුදා පිලේ මොහොමඞ් රිස්වි තරග 3ක තහනමකට ලක්වී සිටින අතර නාවික හමුදා පිලේ බුද්ධිම පියරත්න එක් තරග තහනමකට ලක්වී සිටී. 
 
 

අදහස් (0)

සී. එච්. ක්‍රීඩකයෝ තවත් ජයක් සොයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.