හැව්ලොක්ස් දෙවැනි තරගයත් ජයගනී
උත්සාහක දිනුම් වර්ෂාවකින් ගුවන් හමුදා පිල තෙමා දැමූ ප්‍රබල හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ සිය දෙවැනි තරගයෙන් ලකුණු 46-23ක ජයක් අත්පත් කරගැනීමට සමත්විය.
පිට පිට දෙවැනි තරගයත් ජයගනිමින් අපරාජිත බව තවදුරටත් රැකගත් හැව්ලොක්ස් පිල අද හැව්ලොක්ස් පිටියේදී විදුලි ආලෝකධාර මැද ගුවන් හමුදා පිලට එරෙහිව උත්සාහක දිනුම් 8ක්ම තැබීමට සමත්විය. ඉන් උත්සාහක දිනුම් 2 බැගින් බෙදාහදා ගත් ප්‍රසාද් මධුසංඛ, කෙවින් ඩික්සන් සහ නිෂොන් පෙරේරා හැව්ලොක්ස් පිලේ ජයග්‍රහණයට වැඩි දායකත්වයක් ලබා දීමට සමත්වූහ.
තරගයේ 5 වැනි මිනිත්තුවේදී දෙපිලේ ක්‍රීඩකයන් එක පොදියට පන්දුවට පොර බඳිද්දී ඒ ‘රෝලිං මෝල්‘ අවස්ථාවෙන් කදිම ඵල නෙලා ගත් හැව්ලොක්ස් පිලේ හුකර් ක්‍රීඩක ප්‍රසාද් මධුසංඛ තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කිරීමට රීසා මුබාරක් අසමත්වූවත් සිය ලකුණු 5කින් ඉදිරියට ගිය හැව්ලොක්ස් පිලට පීඩනයක් ගෙනදුන් චරිත් සෙනෙවිරත්න දඬුවම් පහරක් සාර්ථක කරමින් ගුවන් හමුදා පිලට ලකුණු 3ක් ලබාදිමට සමත්විය. හෙතෙම ඉන් නොනැවතී 16 වැනි මිනිත්තුවේදී තවත් දඬුවම් පහරක් සාර්ථක කරගත් චරිත් සෙනෙවිරත්න ගුවන් හමුදා පිලට ලකුණු 6-5කින් පෙරමුණ ගෙන දුන්නේය.
ඊට මිනිත්තු හතරකට පසුව ගුවන් හමුදා පිලේ සීමා ඉරට මීටර් 5ක් ඇතුළත දී තවත් රෝලිං මෝල් අවස්ථාවකින් ප්‍රයෝජනය ගත් ප්‍රසාද් මධුසංඛ ප්‍රතිවාදීන් ක්‍රීඩකයන් තල්ලු කරමින් ගොස් තැබූ සිය දෙවැනි උත්සාහක දිනුමෙන් ලකුණු 10-6කින් පෙරමුණ ගැනීමට හැව්ලොක්ස් පිල සමත්විය. ගෝලයක් බවට පත් කිරීමට තිබූ එම අවස්ථාවත් රීසා මුබාරක් වෙතින් ගිලිහී ගියේය.
එහෙත් 27 වැනි මිනිත්තුවේදී හිරන්ත පෙරේරා ප්‍රතිවාදී සීමා ඉර වෙත එල්ල කළ පන්දුව වෙත වේගයෙන් දිව ගිය නිෂොන් පෙරේරා පන්දුව සුරැකිව ඩැහැගෙන සීමා ඉර වෙතට කඩා පැන්නේ අගනා උත්සාහක දිනුමකට හිමිකම් කියමිනි. එකම කෝණයකින් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමට ලද තුන්වැනි අවස්ථාවත් රීසා මුබාරක් වෙතින් ගිලිහී ගියත් ලකුණු 15-6 කින් ඉදිරියට යාමට හැව්ලොක්ස් පිලට හැකිවිය.
අනතුරුව 30 වැනි මිනිත්තුවේදී ලැබූ දඬුවම් පහරක් සාර්ථක කරගත් චරිත් සෙනෙවිරත්න සිය තුන්වැනි අවස්ථාවත් සාර්ථක කරමින් ගුවන් හමුදා පිල ලකුණු 9කින් ඉහළ දැමුවේය. එහෙත් 33 වැනි මිනිත්තුවේදී හිරන්ත පෙරේරා තවත් රෝලිං මෝල් අවස්ථාවකින් ඵල නෙලා ගනිමින් තැබූ විශිෂ්ට උත්සාහක දිනුම හැව්ලොක්ස් පිලට මෙවර තරගාවලියේ පිට පිට දෙවැනි වරටත් ප්‍රසාද ලකුණක් අත්කර ගැනීමේ අවස්ථාව උදා කර දුන්නේය. ගෝල බවට ප්‍රවර්ථනය කිරිමට ලද අවස්ථා තුනක්ම අසාර්ථක කරගත් රීසා මුබාරක් එවර සාර්ථකව ප්‍රවර්ථනය කරමින් පළමුභාගය නිමාවීමට පෙර හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 22-9කින් ඉහළට ඔසවා තැබීමට සමත්විය.
දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තු 4කින් පසුව හැව්ලොක්ස් පිලේ හිටපු නායක දුෂ්මන්ත ප්‍රියදර්ශන තැබූ අගනා උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 27 දක්වා ඉහළ දමාගත් හැව්ලොක්ස් පිල තවත් ඉදිරියට යද්දී නැවත සාර්ථකව තරගයට පිවිසි ගුවන් හමුදා පිල රධීෂ සෙනෙවිරත්නගේ අනගි උත්සාහක දිනුමක් චරිත් සෙනෙවිරත්න විසින් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු සංඛ්‍යාව 16 දක්වා ඉහළ දැමුවේය.
තරගයේ 63 වැනි මිනිත්තුවේදී කෙවින් ඩික්සන් තැබූ පහසු උත්සාහක දිනුමකින් තරගයේ 6 වැනි උත්සාහක දිනුමත් වාර්තා කළ හැව්ලොක්ස් පිල ලකුණු 32-16කින් ඉදිරියට යද්දී ගුවන් හමුදා පිලේ පීඩනයත් ඉහළ ගියේය. එම උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කිරීමට රීසා මුබාරක් අසමත්විය.
අනතුරුව තරගයේ අවසන් මිනිත්තු 15 එළැඹෙද්දී තරගයේ පීඩනය ගුවන් හමුදා පිලට එහෙම පිටින්ම අත්කර දුන් හැව්ලොක්ස් පිලේ අවාසියට කාරණාවක් වූයේ 67 වැනි මිනිත්තුවේදී ප්‍රසාද් මධුසංඛ කහ කාඞ් පතේ දඬුවම් ලබා පිටියෙන් ඉවත්වීමය. ඉන් කදිමට ප්‍රයෝජනය ගත් පරාක්‍රම රත්නායක රෝලිං මෝල් අවස්ථාවකින් පන්දුව ඩැහැගනිමින් අගනා උත්සාහක දිනුමකට හිමිකම් කිවේය. චරිත් සෙනෙවිරත්න එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කරමින් ගුවන් හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 23 දක්වා ඉහළ දමාගත්තේ ලකුණු පරතරය 9 දක්වා අඩු කරමිනි.
උණුසුම් මුහුණුවරක් ගත් අවසන් මිනිත්තු දහයේදී අගනා ක්‍රීඩා රටාවක නිරතවූ හැව්ලොක්ස් පිල සිය ප්‍රතිවාදීන් ඇද බැඳ තබා ගැනීමට සමත්විය. 71 වැනි මිනිත්තුවේදී සුදම් සූරියආරච්චි ප්‍රතිවාදී සීමාව වෙත එල්ල කළ පන්දුව ඩැහැගත් කෙවින් ඩික්සන් තැබූ ඔහුගේ දෙවැනි උත්සාහක දිනුමෙන් ලකුණු 39-23 කින් හැව්ලොක්ස් පිල ඉදිරියට ගියේ එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමට රීසා මුබාරක් සමත්වීමෙනි.
අවසන් මොහොතේ දී නිෂොන් පෙරේරා තැබූ ඔහුගේ දෙවැනි උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ රීසා මුබාරක් හැව්ලොක්ස් පිලේ ජයග්‍රහණය 46-23කින් තහවුරු කළේය.
- 077