Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‍ෆෙඩරර් ඇමරිකානු විවෘත තරගාවලියෙන් ඉවතට

‍ෆෙඩරර් ඇමරිකානු විවෘත තරගාවලියෙන් ඉවතට

editorial - 2021 අගෝ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දණහිසේ සැත්කමකට මුහුණ දීමට සිදුවීම නිසා ස්විට්සර්ලන්තයේ රොජර් ‍ෆෙඩරර්ට මේ මස 30 වැනිදා ආරම්භ වන ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී තිබේ. ‍ෆෙඩරර් දණහිසේ සැත්කමකට මුහුණදෙන තෙවැනි අවස්ථාව මෙය වන අතර ඉකුත් වසරේදී (2020) ඔහු එවැනිම සැත්කම් දෙකකට මුහුණ දුන්නේය. ‍

මේ වන විට 40 වැනි වියේ පසුවන ෆෙඩරර්, පසුගියදා සිය ඉස්න්ටග්‍රෑම් ගිණුමේ පළ කළ වීඩියෝවක් මගින් කියා සිටියේ තෘණ පිටි තරග වාරය තුළ තමායේ දණහිසේ ආබාධය යළිත් වරක් උත්සන්න වූ බවත්, වෛද්‍යවරුන් පවසන පරිදි දණහිස නැවතත් සැත්කමකට භාජනය කිරීමට සිදුවන බවත්ය.

"සති කිහිපයක් යන තුරු මට කිහිළිකරුවල ආධාරයෙන් ඇවිදීමට සිදුවේවි. ඒ වගේම මාස කිහිපයක් යන තුරු තරග බිමෙන් දුරස්ව සිටීමටද සිදුවේවි." යැයි එම විඩියෝව ඔස්සේ ෆෙඩරර් සිය ක්‍රීඩා‍‍ලෝලීන්ට කියා සිටියේය.

"ඇත්ත වශයෙන්ම එය තරමක් දුෂ්කර කටයුත්තක් බව මම දන්නවා. ඒත් මට මේ‍ වෙලාවේ ඊට මුහුණදීමට සිදුවෙනවා. මොකද මට සෞඛ්‍ය සම්පන්නව සිටීමටත්, නැවත තරග බිමට පිවිසීමටත් එය වඩාත් උපකාරී වේවි." යැයිද එහිදී ෆෙඩරර් වැඩි දුරටත් සඳහන් කළේය.

ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩකයා ලෙස ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සහ සර්බියාවේ නොවැක් ජොකොවික් සමග සම වාර්තාවකටද හිමිකම් කියන ෆෙඩරර්, ඉකුත් වසරේ පැවැති ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියෙන් පසුව දණහිසේ සැත්කම් දෙකකට මුහුණ දුන් අතර ඉන් පූර්ණ සුවය ලැබීමට ඔහුට මාස 13 ක කාලයක් ගත විය.

විම්බල්ඩන් ශූරතාවලියට පෙර නැවතත් ආබාධයකට ලක්වීමේ සම්භාවිතාව අවම කරගැනීමේ අරමුණින් ජූනි මස පැවැති ප්‍රංශ විවෘත තරගාවලියේ තෙවැනි වටයෙන් ඉවත්වීමටද ෆෙඩරර් පියවර ගත්තේය. කෙසේ වුවත් අර්ධ අවසන් පූර්ව වටයේදී පෝලන්තයේ හියුබට් හර්කස් හමුවේ පරාජයට පත්වීම නිසා ඔහු 9 වැනි වරටත් විම්බල්ඩන් ශූරතාව දිනාගැනීමට තිබූ අවස්ථාව මඟ හැරී ගියේය.

ඉන් අනතරුව ඔලිම්පික් උළෙලට සහභාගිවීමෙන්ද වැළකී සිටි ෆෙඩරර්ට මේ වන විට ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාවද අහිමිවී තිබේ. වසරේ අවසන් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලිය ලෙස පැවැත්වෙන ඇමරිකානු විවෘත ‍තරගාවලිය මේ මස 30 වැනිදා සිට සැප්තැම්බර් මස 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

-036

 


අදහස් (0)

‍ෆෙඩරර් ඇමරිකානු විවෘත තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.