Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 2025 කායවර්ධන ලෝක ශූරතාවලිය ශ්‍රී ලංකාවේ

2025 කායවර්ධන ලෝක ශූරතාවලිය ශ්‍රී ලංකාවේ

editorial - 2022 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ප්‍රධාන උපදේශක දුමින්ද සිල්වා මහතා සම්මේලනයේ ජාතික සහායක සංවිධායක ධුරයට පත් ප්‍රීති උදය කුමාර මහතාට පත්වීම් ලිපිය ප්‍රදානය කළ අයුරු. සම්මේලනයේ සභාපති ලයනල් කුමාර මහතා ද මෙහි වේ. මෙම අවස්ථාවට සම්මේලනයේ ප්‍රධාන උපදේශක කපිල කුමාර සහ හිටපු ලේකම් නිහාල් වීරතුංග යන මහත්වරු ද සහභාගි වූහ.


(නාමල් පතිරගේ)

වසර 2025 ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ සත්කාරය දැරීමට අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය පස් අවුරුදු දීර්ඝ කාලීන ප්‍රවර්ධන සැලැස්මක් එළිදක්වා තිබේ. කඩවතදී පැවැති මෙම ප්‍රවර්ධන සැලැස්ම එළිදැක්වීම සම්මේලනයේ ප්‍රධාන අනුශාසක, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

වසර 2025 දී පැත්වීමට නියමිත කායවර්ධන ලෝක ශූරතාවලියේ නිල සත්කාරය ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක කායවර්ධන සම්මේලනය මේ වන විට එකඟ වී තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති මූලික කෙටුම්පත සඳහා ලෝක සම්මේලනයේ අනුමැතිය හිමි වී තිබේ.

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ  පස් අවුරුදු සංවර්ධන සැලැස්මේ ප්‍රධාන අරමුණ වන්නේ, ශ්‍රී ලංකාව සත්කාරය දරන වසර 2025 ලෝක කායවර්ධන ශූරතාවලියේදී අවම වශයෙන් එක රන් පදක්කමක් ඇතුළුව පදක්කම් වැඩි ගණනක් දිනා ගැනීමය.

ලෝක කායවර්ධන ශූරතා තරගාවලියකදී ශ්‍රී ලංකාව අවසන් වරට රන් පදක්කමක් දිනා ගෙන ඇත්තේ, වසර 2019 දී ඩුබායි නුවරදී පැවැති තරගාවලියේදීය. වයි.කේ. අමිල කිලෝග්‍රෑම් 65 බර පන්තියෙන් එහිදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන්නේය. ඊට පෙර වසර 2009 තරගාවලියේදී ප්‍රසන්න පීරිස් ලෝක ශූරතාවලියකදී පළමු වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම දිනා තිබේ.

වාර්ෂිකව පැවැත්වෙන ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේ සත්කාරය ශ්‍රී ලංකාවට ලබාදීමට පසුගිය වසර කිහිපයකදීම ලෝක සම්මේලනය ගත් උත්සාහය අසාර්ථක වූයේ කොවිඩ් වසංගතය හැරුණු විට පසුගිය වසර කිහිපයක්ම ශ්‍රී ලංකාවේ කායවර්ධන පරිපාලන ව්‍යුහයේ පැවැති ආරවුල් හා අඩපණ වීම්ය.

මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති ලයනල් කුමාර මහතා පැවැසුවේ, ‘එකට නැගිටිමු - එකට ජය ගමු’ යනුවෙන් අර්ථ ගැන්වුණු ඉදිරි පස් අවුරුදු සැලැස්මෙන් මෙරට පසුගිය වසර කිහිපයක් තිස්සේ කඩා වැටී තිබෙන දේශීය කායවර්ධන ක්‍රීඩාව නැවත පණ ගැන්වීමට බලාපොරොත්තු වන බවයි.

එහි ආරම්භයක් ලෙස මෙම වසරට නියමිත සම්මේලනය සත්කාරය දරන සියලු දේශීය තරග මාලා පැවැත්වීමටත්, ආසියානු ශූරතා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙන බවත් ඔහු පැවැසීය.

මේ අතර, මෙම 16 වැනිදා මීගමුවේදී ජාතික කායවර්ධන පුහුණු සංචිත සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කිරීමේ තරගාවලියක් පැවැත්වීමට තීරණය කර තිබේ. එහි විශේෂත්වය වන්නේ, ජාතික පුහුණු සංචිතය එතැන් පටන් අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය වීමය. කායවර්ධන ක්‍රීඩාවේ පිරිමි කාණ්ඩයේ සියලු බර පන්තින් නියෝජනය වන පරිදි එහිදී ජාතික පුහුණු සංචිත සඳහා තරගකරුවන් නිර්දේශ කෙරේ.

වසර දෙකක් නොපැවැත්වුණු ජාතික කායවර්ධන ශූරතා (මිස්ටර් ශ්‍රී ලංකා) තරගාවලිය මෙම වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට ද කායවර්ධන සම්මේලනය දැන් සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ පරිපාලනය විමධ්‍යගත කරමින් අලුතින් පත්කරන ලද දිස්ත්‍රික් හා පළාත් සංවිධායකවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය ද කඩවතදී පැවැති මෙම මාධ්‍ය හමුවට සමගාමීව සිදු කෙරුණි.

 


අදහස් (0)

2025 කායවර්ධන ලෝක ශූරතාවලිය ශ්‍රී ලංකාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.