Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 4 කට තහංචි - 2 කට සාමාජිකත්වය
පාපන්දු ලීග

4 කට තහංචි - 2 කට සාමාජිකත්වය

editorial - 2022 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය එළඹෙන මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතු බවට මත ඉදිරිපත් වෙමින් තිබිය දීත් අලුත්ම පාපන්දු ලීග (සංගම්) දෙකකට එහි සාමාජිකත්වය ප්‍රදානය කර තිබේ. මේ අතර කිළිනොච්චිය, රාජ්‍ය සේවා, සිවිල් ආරක්ෂක හා ගම්පොල යන පාපන්දු ලීග හතරක සිය සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ද ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පියවර ගෙන තිබේ. ඒවායෙහි ක්‍රියාකාරිත්වය අඩපණ වීම ඊට ආසන්නතම හේතුව වී තිබේ.

උතුරු පළාතට අයත් පුනරින් පාපන්දු ලීගය හා යාපනය දූපත් පාපන්දු ලීගය පාපන්දු ආයතනයේ සාමාජිකත්වය පිරිනැමීමත් සමඟ එහි මුළු සාමාජික ලීග ගණන 66ක් දක්වා ඉහළ යයි. කෙසේ වුවත් වසරක නිරීක්ෂණ කාලයක් ගෙවිය යුතු බැවින් ඔවුන්ට පාපන්දු ආයතනයේ මීළඟට යෙදෙන නිලවරණයේ දී ඡන්ද බලය හිමි නොවේ.

ධීවර ප්‍රජාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශ දෙකකට අයත් නව පාපන්දු ලීග දෙකේම මේ වනවිට ක්‍රීඩා සමාජ 30ක් බැගින් වන ගණනක් නියෝජනය වන බව ද වාර්තා වේ.

මේ අතර කෙටුම්පත් කර අවසන් වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නව ව්‍යවස්ථාව අනුමැතිය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට අද (7) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ වත්මන් ව්‍යවස්ථාවට අනුරූපීව සකස්කර තිබෙන ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නව ව්‍යවස්ථාව ඉදිරියේ දී කැඳවන විශේෂ මහ සභා රැස්වීමක දී අනුමැතියෙන් පසුව එළඹෙන නිලවරණය සඳහා දින ප්‍රකාශයට පත් කෙරෙන බව එහි සභාපති ජස්වර් උමාර් මහතා පවසයි.

නව ව්‍යවස්ථාවේ විශේෂ වෙනස්කම් වන්නේ නිල කාලය සිව් වසරක් වීම, නිලවරණයෙන් පත් කෙරෙන විධායක සභාව 13 දෙනකුට සීමා කිරීම, ඡන්ද ඒකක ගණන අඩු කිරීම, විධායක සභාවට වගකියන වැටුප් ලබන ලේකම්වරයකු පත්කර ගැනීම, අනුකමිටු සංඛ්‍යාව 6 කට සීමා කිරීම ආදී කාරණාවන්ය.

පාපන්දු ආයතනයේ මීට පෙර කටයුතු කළ නිලවරණයෙන් පත්වන විධායක සභාව 29 දෙනකු දක්වා පුළුල් විය. ඒ අතර දැනට එහි අනුකමිටු 18 කට ආසන්න ගණනක් ක්‍රියාත්මක වේ.

මීළඟට නියමිත පාපන්දු නිලවරණය ලබන මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කිරීමේ ගැටලුවක් පැන නොනගින බව ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා පවසයි. අවසන් වරට නිලවරණය පවත්වා ඇත්තේ පසුගිය ජුනි 30 වැනිදා බැවින් ඊට මැයි 31 වැනිදාට පෙර යන නියමය අදාළ නොවන බවත් කෙසේ වුවත් තමන් තවමත් ගත කරන්නේ වත්මන් නිල කාලයෙන් මාස නවයක් පමණක් වන බැවින් අවම වශයෙන් අවුරුද්දක් ඉක්මයන තුරුවත් නිලවරණයක් ගැන සාකච්ඡා කිරීමෙන් ඵලක් නැතැයි ද වැඩිදුරටත් පැවැසීය. 

 


අදහස් (0)

4 කට තහංචි - 2 කට සාමාජිකත්වය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.