Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 91 වැනි සුලෝහිත සංග්‍රාමය 7 - 8

91 වැනි සුලෝහිත සංග්‍රාමය 7 - 8

යොහාන් භාසුර - 2020 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට වැඩිම ක්‍රීඩකයන් සංඛ්‍යාවක් දායාද කළ පාසල් දෙක වන කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර 91 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ මේ මස 7 සහ 8 දෙදින එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම පාසල් දෙකෙන් ටෙස්ට් සහ එක්දින ක්‍රීඩකයන් 60 ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්කර තිබීම විශේෂයෙන් කැපී පෙනේ.

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා වන බන්දුල වර්ණපුර මහතා සහ ශ්‍රී ලංකාවේ සුවිශේෂි ක්‍රිකට් නායකයකු වන මහේල ජයවර්ධන, නාලන්දා විදුහලේද, 1996 වසරේ ලෝක කුසලාන දීනු ශ්‍රී ලංකා පිලේ නායකත්වය දැරූ අර්ජුන රණතුංග මහතා ආනන්ද විදුහලේද ආදි ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙති.

මෙම විදුහල් දෙකෙන් ශ්‍රී ලංකා ජාතික පිලට (බන්දුල වර්ණපුර, අර්ජුන රණතුංග, රොෂාන් මහානාම, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන සහ දිනේෂ් චන්දිමාල්) නායකයන් හය දෙනකු බිහිකර තිබේ.

ආනන්ද සහ නාලන්දා විදුහල් දායාද කළ බන්දුල වර්ණපුර, අර්ජුන රණතුංග, සිදත් වෙත්තමුණි, රොෂාන් මහානාම, බ්‍රෙන්ඩන් කුරුප්පු, අනුර රණසිංහ, අජිත් ද සිල්වා, ලලිත් කළුපෙරුම, අසංක ගුරුසිංහ, මහේල ජයවර්ධන, මාවන් අතපත්තු, කුමාර ධර්මසේන, අවිෂ්ක ගුණවර්ධන, තිලාන් සමරවීර සහ චන්දික හතුරුසිංහ යන ක්‍රීඩකයෝ ඉදිරියෙන් පසු වෙති.

මෙම මහ ක්‍රිකට් තරගයේ 1924 වසරේ සිට පැවැති තරග 90 කදී ආනන්ද විදුහල තරග 12 ක් ද, නාලන්දා විදුහල තරග 6 ක් ද ජය ලබා ඇති අතර ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් වී තිබේ. ආනන්ද විදුහල අවසන් වරට 2003 වසරේ දමින්ද කුලරත්නගේ නායකවත්වයෙන් ද, නාලන්දා විදුහල 1953 වසරේ ඩබ්ලිව්. ඩබ්ලිව්. සිල්වාගේ නායකත්වයෙන් ද අවසන් වරට ජය ලබා තිබේ.

මෙවර ආනන්ද විදුහල් පිලේ නායකයා ලෙස ඉදිරිපෙළ පිතිකරු කනිෂ්ක රන්තිලකගේද, නාලන්දා විදුහල් පිලේ නායකයා ලෙස ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල පිතිකරු අවිෂ්ක පෙරේරාද කටයුතු කරති.

ආනන්ද විදුහල මෙවර තරග වාරයේ තරග 14 කට සහභාගි වී පළමු ඉනිමේ ජයග්‍රහණ තුනක් පමණක් ලබා සිටියි. ආනන්ද විදුහල මෙම තරග වාරයේ තරග තුනක් පරාජය වී තිබේ.

මෙවර ආනන්ද විදුහලේ ප්‍රබලතම පිතිකරු වන නායක කනිෂ්ක රන්තිලකගේ ලකුණු 600 ක් ඉක්මවා රැස්කර තිබේ. ජනිඳු ජයවර්ධන (ලකුණු 538) සහ නෙත්ම කරුණාරත්න (ලකුණු 503) මෙම තරග වාරයේ ආනන්ද විදුහල් වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ සිටිති.

මෙවර ද සුපුරුදු පරිදි ආනන්ද විදුහල දඟ පන්දු යැවීමේ අංශය වඩාත් ප්‍රබලයන්ගෙන් සමන්විත වේ. 15 හැවිරිදි වමතින් දඟ පන්දු යවන ඉසුරු අයේෂ් මෙම තරග වාරයේ කඩුලු 53 ක් දවාගනිමින් ආනන්ද විදුහල් පන්දු යවන්නන් අතර පෙරමුණ පසුවෙයි.  පිට දඟ පන්දු යවන සවිරු බණ්ඩාර කඩුලු 32 ක් දවාගෙන ඇති අතර ජනිඳු ජයවර්ධන ද දඟ පන්දුවෙන් හොඳ සහයෝගයක් ලබාදෙයි.

නාලන්දා විදුහල මෙවර තරග වාරයේ තරග 16 කට සහභාගි වී මහනුවර ශාන්ත සිල්වෙස්ටර්, අම්බලන්ගොඩ ධර්මාශෝකක සහ කැලණිය ගුරුකුල යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ තුනක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 11 ලැබීමට සමත්ව සිටියි.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ අවිෂ්ක පෙරේරා, රවීන් ද සිල්වා සහ චමිඳු විජේසිංහ මෙවර නාලන්දා විදුහල ඇතුළත්ව සිටීම නිසා මෙවර නාලන්දා විදුහල් පිල වඩාත් ප්‍රබල වී තිබේ. ප්‍රබලතම පිතිකරුවකු වන නායක අවිෂ්ක පෙරේරා පසුගිය වසරේ සහ මෙම වසරේ පිට පිටම ලකුණු 1000 බැගින් සම්පූර්ණ කිරීමට සමත්ව සිටියි. රවීන් ද සිල්වා (ලකුණු 600) සහ මහීම වීරකෝන් (ලකුණු 550) මෙම තරග වාරයේ නාලන්දා විදුහලේ සෙසු ප්‍රබල පිතිකරුවන් ලෙස හැදින්විය හැකිය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ වේග පන්දු යවන චමිඳු විජේසිංහ මෙවර නාලන්දා විදුහල් පිලේ ප්‍රබලතම පන්දු යවන්නා වේ. සෙසු වේග පන්දු යවන්නන් වන දිනෙත් සමරවීර (කඩුලු 35) සහ ජිතේෂ් වාසල (25) ආනන්ද විදුහල් පිතිකරුවන්ට හොඳ අභියෝගයක් යොමුකරනවාට සැක නැත.

පිට දඟ පන්දු යවන්නන් වන රවීන් ද සිල්වා (කඩුලු 35) සහ මහීම වීරකෝන් (කඩුලු 30) මෙවර නාලන්දා විදුහල් දඟ පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරති.    

දෙවිදුහල් අතර පී. ඩී. එස්. කුලරත්න අභියෝග කුසලාන වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගය එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී මේ මස 15 වැනිදා පැවැත්වීමට නියමිතය.

 


ආනන්ද විදුහල් කණ්ඩායම:
කනිෂ්ක රන්තිලකගේ (නායක), සවිරු බණ්ඩාර (උප නායක), කළන විජේසිරි, නෙත්ම කරුණාරත්න, විනිත් ප්‍රේමරත්න, හංසජ ජයසිංහ, ජනිඳු ජයවර්ධන, ශෂික උමයංග, දිනෙත් නිශ්ශංක, ඉසුරු අයේෂ්, අදීෂ පෙරේරා, දසුන් තාරක, මඕෂද ප්‍රනාන්දු, අනුජ ජයවීර, නුෂාල් ධර්මරත්න සහ සොනාර කරුණාරත්න
අසංක හෙට්ටිආරච්චි මහතා (ප්‍රධාන පුහුණුකරු)

 

 

නාලන්දා විදුහල් කණ්ඩායම:
අවිෂ්ක පෙරේරා (නායක), රවීන් ද සිල්වා (උප නායක), චමිඳු විජේසිංහ, මහිම වීරකෝන්, රනිඳු ද සිල්වා, ජිතේෂ් වාසල, දිනෙත් සමරවීර, මෝක්‍ෂ සංකල්ප, චමෝද්‍ය රාජපක්‍ෂ, ලක්‍ෂාන් මායාදුන්න, රෂාන් දිසානායක, චාමල් අතුකෝරළ, අනුද ජිත්වර, තමිඳු කමලසූරිය, නිකිල අබේගුණසේකර සහ විහඟ විමංඟ
ශානුක දිසානායක මහතා (ප්‍රධාන පුහුණුකරු)  

 

 


අදහස් (0)

91 වැනි සුලෝහිත සංග්‍රාමය 7 - 8

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.