Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අඟහරුවාදා හදිසි විධායක සභා රැස්වීමක්

අඟහරුවාදා හදිසි විධායක සභා රැස්වීමක්

editorial - 2024 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ආචාර ධර්ම කමිටුව කිසිදු විධිමත් පරීක්ෂණයකින් තොරව ඉදිරිපත් කර ඇති වාර්තාව ජාතික ඔලිම්පික් කමිටුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ බහූතරයක් විසින් පිළිනොගන්නා බවත් ඒ පිළිබදව පැහැදිලි කිරීමක් ඉල්ලා ඇතත් ඊටද මෙතෙක් ආචාර ධර්ම කමිටුවෙන් ප්‍රතිචාර පළවී නැති බවත් ජාතික ඔලිම්පික් කමිටුව කියයි.

පෙරේදා (13) ඒ සම්බන්ධයෙන්  නිවේදනයක් නිකුත් කළ ජාතික ඔලිම්පික් කමිටුව සිය මහ ලේකම්වරයා තහනමට ලක් කරන ලෙස අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවට දන්වා ඇතැයි කියන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව පවසයි.

කෙසේවූවත් ලබන අගහරුවාදා (19) ජාතික ඔලිම්පික් කමිටුව යොදා ගත් පරිදි  සිය විධායක සභාවේ රැස්වීම පවත්වා මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන බවත් එය අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ මග පෙන්වීමට යටත්ව ඔලිම්පික් ප්‍රඥප්තියට අනුව  විනිවිදභාවයෙන් යුතුව සිදු කරමින් එය කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට  ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ ජාතික ඔලිම්පික් කමිටු සබදතා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ  (පාලන  හා ආයතනික සේවා) ජෙරම් ෆොයිව් මහතා පසුගිය නොවැම්බර් 11 වැනිදා දාතමින් ශ්‍රී ලංකාවට යොමු කළ ලිපියක් පදනම් කර ගනිමින් ජාතික ඔලිම්පික් කමිටුව පෙරේදා මෙම  මාධ්‍ය නිවේදනය නිකුත් කළේය. එහි මෙසේද දැක්වේ "ඇතැම් මාධ්‍යවල මෑත කාලීන සාවද්‍ය පුවත් ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රතික්ෂේප කරයි.තව දුරටත් කමිටුව සිය ආයතනයේ පාරදෘශ්‍ය හා සදාචාරාත්මක පාලනයක් ඇති කිරීම සදහා ඇති කැපවීම අවධාරණය කරයි.

නොවැම්බර් 5 වැනිදා ජෙරම් ෆොයිව් මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුවේ වාර්තාව පදනම් කර ගනිමින් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ විද්‍යුත් තැපෑලට ප්‍රතිචාර දක්වා තිබේ.

පොයිව්  මහතා එහි සදහන් කර ඇත්තේ මෙවැනි දෙයකි. "ඔබගේ ජාතික ඔලිම්පික් කමිටුවේ  ආචාර ධර්ම කමිටුව විසින් මතු කර ඇති චෝදනා සමාලෝචනය කර නිර්දේශ ලබාදී තිබේ.එහෙත් එය විධායක සභාව තවමත් සලකා බලා නොමැත.

ඒ අනුව ආචර ධර්ම කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිගමන හා නිර්දේශ පරීක්ෂා කර ජාතික ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාවට අනුකූලව ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සදහා ප්‍රමාදයකින් තොරව විධායක සභාව කැදවීම සුදුසු වේ"  (ලිපියේ උපුටා ගැනීම අවසන්)

ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපතිවරයා හා මහ ලේකම්වරයා අතර මෑත කාළීනව  ඇතිවී තිබෙන බව කියන විරසකය මේ වන විට වඩාත් උත්සන්නවී තිබෙන තත්වයක් තුළ ඉහත සිදුවීම වඩාත් අවධානයට යොමුවී තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය පත් කළ ත්‍රීපුද්ගල කමිටුවක් මගින් සිදු කළ විමර්ශනයක්  පදනම් කර ගනිමින් ආචාර ධර්ම කමිටුව විසින් ලබාදී තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස මේ අතර එම කමිටුව අවධාරණය කර තිබේ.

එහෙත් එහිදී ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්වරයා සම්බන්ධයෙන් ලබාදී තිබෙන බව කියන නිගමන ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේ බහූතරයක් විසින් ප්‍රතික්ෂේප කරන බව මහ ලේකම්වරයාගේ පාර්ශවය කියයි.

උද්ගතව තිබෙන මෙම මතභේදාත්මක  වටපිටාව හමුවේ ජාතික ඔලිම්පික් කමිටුවේ හදිසි  විධායක සභාවේ රැස්වීමක් නොවැම්බර් 19 වැනිදාත් එහි විශේෂ  මහ සභා රැස්වීමක් නොවැම්බර්  29 වැනිදාත් පැවැත්වීමට සැළසුම් කර ඇත.

නොවැම්බර් 29 වැනිදා  ජාතික ඔලිම්පික් කමිටුවේ  විශේෂ මහ සභා රැස්වීම කැදවීමට මනාපය පළ කරමින් එහි සාමාජික ජාතික ක්‍රීඩා සංගම් 31 න් 16 ක් හා ක්‍රීඩකයන්ගේ කමිටුව අත්සන් තබා තිබේ.

 


අදහස් (0)

අඟහරුවාදා හදිසි විධායක සභා රැස්වීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.