Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අඩුපාඩු කතාකිරීමෙන් ඵලක් නැහැ - ප්‍රසාදි

අඩුපාඩු කතාකිරීමෙන් ඵලක් නැහැ - ප්‍රසාදි

editorial - 2024 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පරාජයට පත්වීමෙන් පසුව අඩුපාඩු කතා කිරීමෙන් පළක් නැති බවත් පුහුණුකරුවෙකු ලෙස තමන් විදි ඇතැම් අත්දැකීම් වෙනත් පුහුණුකරුවෙකුට විදීමට නොලැබේවා කියා තමන් ප්‍රාර්ථනා කරන බවත්  ඉන්දියාවේ බැංගලෝර් නුවරදී නිමාවට පත්වූ 13 වැනි ආසියානු කුසලාන දැල්පන්දු  (නෙට්බෝල්)  අවසන් මහ තරගයේ පරාජයෙන් පසුව ලංකාදීපය කළ විමසුමකදී  ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිණී දීපි නාලිකා ප්‍රසාදි මහත්මිය පැවැසුවාය.

බැංගලෝර් නුවරදී  ඉරිදා (27) නිමාවට පත්වූ 13 වැනි ආසියානු දැල්පන්දු  තරගාවලියේ අවසන් මහ තරගයෙන් සිංගප්පූරුවට ලකුණු 67 -64 පරාජයක් ලැබීමෙන් ශ්‍රී ලංකාවට මෙවර අනුශූරතාවෙන් සෑහීමට පත්වීමට සිදු විය.

ශ්‍රී ලංකාවට මෙවර ආසියානු දැල්පන්දු කුසලාන ගිළිහී ගියේ වසර 10 කට පසුවය.පසුගිය ශූරතාව (2022) ඇතුළුව ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු කුසලාන  හය වතාවක්ම දිනා ඇත.

කෙසේවූවත් මෙවර ශ්‍රී ලංකාව තරගාවලියට සහභාගි වන විට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය ක්‍රියාත්මක නොවීය.ඒ නිලවරණයේ ආරවුල් හේතුවෙන් එහි ක්‍රියාකාරිත්වය ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අත්හිටුවා තිබීමයි.

ශ්‍රී ලංකාව මූලික වටයේ සිට අවසන් මහ තරගය දක්වා තරග හතක් අපරාජිතව ජය ගනිමින් අවසන් මහ තරගයට ප්‍රවේශවීමට එහිදී සමත් විය.

අවසන් මහ තරගයේ පරාජය ගැන ශ්‍රී ලංකා පුහුණුකාරිණී පී.ඩී.එන්. මහත්මිය වැඩිදුරටත් මෙසේද පැවැසුවාය.

‘‘දැන් අඩුපාඩු ගැන කතා කරලා පලක් නෑ.නමුත් මම පුහුණුකරුවෙකු ලෙස ලබපු සමහර අත්දැකීම් මේ රටේ වෙනත් පුහුණුකරුවෙකුට අත්විදින්න ලැබෙන්න එපා කියලා මම කියනවා. අපි ඉතාම විශිෂ්ඨ තියුණු තරගයකින් පසුව ලකුණු තුනකින් අවසන් මහ තරගයෙන් පරාජය ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ හුවා දැක්විය යුතු තරම් අඩුපාඩුවක් මම මේ අවසන් තරගයේ දැක්කේ නෑ.

කණ්ඩායමේ ක්‍රිඩිකාවන් බහුතරයක් ලබපු පළමු ජාත්‍යන්තර අවසන් මහ තරග අත්දැකීම වුණේ මේ තරගාවලියයි.ඔවුන් සමහරුන් වෙතින් අත්දැකිම් නැති නිසාම සුළු වැරදීම් වුණා. නමුත් ඔවුන්ට දොස් කියන්න බෑ

අපි මේ තරගාවලියට සූදානම් වෙන කොට රටේ දැල්පන්දු පරිපාලනයේ ඇතිවූ සිදුවීම් කවුරුත් දන්නවා.ඒවා ඇති කරපු සමහරු දන්නවා සිද්ධ වුණේ මොනවද කියන්නත්. මගේ වැටුප් ගෙවීම මැයි මාසයේ සිට ප්‍රමාදවීම ගැනවත් නොසිතා තමයි මම ශ්‍රී ලංකා  කණ්ඩායම තරග සංචාරයට සූදානම් කළේ. කොහොම උනත් මේ තරග සංචාරය  සාර්ථක කර ගන්න ක්‍රිඩා අමාත්‍යාංශය දැක්වූ සහයෝගයට මම විශේෂයෙන්ම ඔවුන්ට ස්තුතිය පුද කරනවා.”

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකාවක්ද වන ප්‍රසාදි මහත්මිය පසුගිය ජනවාරි 8 වැනිදා ජාතික දැල්පන්දු පුහුණුකරු ධූරය භාර ගත්තාය.   ප්‍රසාදි මහත්මියගේ එම ධූර කාලය ලබන දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වේ.

මේ අතර ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා දුලංගී වන්නිතිලක පැවැසුවේ තමන් හැර අවසන් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කළේ අත්දැකීම් ඇති තවත්  ජේය්‍යෂ්ඨ  ක්‍රීඩිකාවන් දෙදෙනෙකු පමණක් බවයි.

එහිදී පළමු වතාවට එම අත්දැකීම ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමහරු වෙතින් ඒ නිසාම අත්වැරදීම් සිදුවූවත් සමස්තයක් ලෙස කණ්ඩායමේ දක්ෂතා ප්‍රශංසනිය මට්ටමක පැවැති බවත් ඇය පැවැසුවාය.

‘‘ආසියානු තරග සංචාරයට පෙර පෙරහුරු තරග අත්දැකීම් මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණේ නෑ. නමුත් සිංගප්පූරු කණ්ඩායම තරග සංචාර කීපයකටම සහභාගි වෙලා තමයි ආසියානු කුසලානට ආවේ.තර්ජනී ෂිවලිංගම්ගේ අඩුව නොදැනෙන්න තිසාලා අල්ගම නිත්‍ය පන්දු විදින්නියගේ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නා කියලා මම විශ්වාස කරනවා.”

ජයග්‍රාහී සිංගප්පූරු කණ්ඩායම


අදහස් (0)

අඩුපාඩු කතාකිරීමෙන් ඵලක් නැහැ - ප්‍රසාදි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.