Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අතුරුදන් නොවීමෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවක්

අතුරුදන් නොවීමෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවක්

editorial - 2024 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ ප්‍රංශයේ පැරිස් නුවර සිට)

යුරෝපයේ  රටවල ක්‍රීඩා උළෙල වලට සහභාගිවීමේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් අතුරුදන් වීමෙන් වාර්තා තබා තිබෙන ශ්‍රී  ලංකාව අද (11) අවසන් කළ පැරිස් ඔලිම්පික් තරග සංචාරයේදී ඔවුන්ගේ කිසිදු ක්‍රීඩකයෙකු හෝ නිලධාරියෙකු කණ්ඩායමෙන් පැන ගොස් අතුරුදන් වූ බවට නිල වශයෙන් වාර්තා නොවීය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට හිමි අපකීර්තිමත්  ඉතිහාසය ජාත්‍යන්තරව වඩාත් අවධානයට ලක් වූ  ආසන්නතම සිදුවීම නම් පැරිස්  ඔලිම්පික් පැවැති ප්‍රංශයේ  වඩාත් ජනප්‍රිය අසළ්වැසි රාජ්‍යය වන එංගලන්තයේ  බර්මිංහැම්  නුවරදී පැවැති 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී සංචාරක ශ්‍රී  ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරුවන්, මාධ්‍යවේදීන්  හා     පරිවාර නිලධාරීන් 16 දෙනෙකු තරම් ඉහළ පිරිසක් එරටදී අතුරුදන් වීමයි.

කෙසේ වූවත් මෙවර  සංචාරක  ශ්‍රී  ලංකා නිල කණ්ඩායම  ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු, පුහුණුකරුවන් පස් දෙනෙකු හා එක් වෛද්‍යවරයෙකුට සීමා වෙද්දී කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ චන්දන ලියනගේ මහතා ඇතුළුව පැරිස්  නුවර ඉතිරිව සිටින එහි නිලධාරින් කීප දෙනා අද (12) දිවයින බලා එරටින් පිටත්වීමට නියමිතව සිටියේය.

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු, ක්‍රීඩා  අධ්‍යක්ෂ  ජනරාල් මහචාර්ය ෂේමාල් ප්‍රනාන්දු, ජාතික ඔලිම්පික්  කමිටුවේ සභාපති සුරේෂ්  සුබ්‍රමනියම්, එහි මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා යන මහත්වරු ඇතුළු  ශ්‍රී  ලාංකිකයන් පිරිසක්  මෙවර පැරිස් ඔලිම්පික්  සමාරම්භක අවස්ථාවට සභභාගිවී සිටියහ.

ඒ අතර අද පැවැති සමාප්ත උත්සවය නැරඹීමට ක්‍රීඩා රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂ්වරන් යන මහත්වරු ඇතුළු මෙරට නිලධාරින් කීපදෙනෙක්ද ආරාධනා ලබා සිටියහ.

සමස්තයක් ලෙස නිල ශ්‍රී ලංකා කණ්ඩායම හැරෙන්නට පැරිස් ඔලිම්පික් නැරඹීම සදහා   ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානින් ඇතුළු ශ්‍රී  ලාංකිකයන් 30 කට ආසන්න පිරිසක් අවසර පත් ලබා ගෙන තිබූ බව වාර්තාවේ.

කෙසේවූවත් පැරිස් ඔලිම්පික්  සහභාගිත්වයේදී  වීසා නිකුත් කිරීමේදී ශ්‍රී  ලාංකිකයන්ට ශ්‍රී  ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය  දැඩි කොන්දේසි හා පුද්ගල ඇප කොන්දේසි මත වීසා නිකුත් කිරීමට කටයුතු කළේය.ඒ සදහා  සම්බන්ධ්කරණ  කටයුතු ජාතික  ඔලිම්පික්  කමිටුව හා ක්‍රීඩා අමාත්‍යාංශය  විසින් සිදු කරන ලදී.

මෙවන් පසුබිමක මෙවර පැරිස් ඔලිම්පික් සංචාරයේදී පුද්ගල අතුරුදන්වවීම් සම්බන්ධයෙන් ශ්‍රී  ලංකාවට චෝදනා එල්ල නොවීම සතුටට කාරණයක් බවත් එහිදී නුසුදුස්සන්ට අවසර පත් නිකුත් නොකිරීමට ජාතික ඔලිම්පික්  කමිටුව වග බලා ගැනීමෙන් මෙම  තත්වය පාලනය වූ බවත් ජාතික ඔලිම්පික්  කමිටුවේ සභාපති  සුරේෂ්  සුබ්‍රමනියම්  මහතා ලංකාදීප යට පැවැසීය.

මේ අතර අද පැවැති මැරතන් (කාන්තා) තරගයෙන් නිමාවට පත්වූ පැරිස් ඔලිම්පික් උළෙලේ සමස්ත ජයග්‍රාහණය ඇමරිකාව එකම රන් පදක්කම වෙනසකින් පරාජය කළ චීනයට හිමි විය. එය ගිය වර 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමස්ත  ප්‍රතිපලය කණපිට පෙරළීමකි.එවර එක්සත් ජනපදය සමස්ත ජයග්‍රාහණය ලබා ගත්තේ චීනය එක් රන් පදක්කමකින් පරාජය කරමිණි.

මෙවර සහභාගි වූ රටවල් හා ජාතින් 206 කින් රටවල් 91 ක් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.දෙවැනි තැනට පත් ඇමරිකාවේ රන් පදක්කම් 38 න් 14 ක්ම දිනා ගත්තේ ඇමැරිකාව විසිනි. ජයග්‍රාහී චීනයේ වැඩිම රන් පදක්කම් හිමි වුයේ (8)  දිය පිනුම් ඉසව්වෙනි.

පදක්කම් දිනූ ජාතින් අතරේ රටක් නොමැති එක්සත් ජාතින්ගේ සරණාගත  කණ්ඩායම  බොක්සිං  කාන්තා ඉසව්වකින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීම කැපී පෙණුනි. මෙම අවස්ථාව ලබා ගත්තේ කැමරූන් රාජ්‍යයේ ඉපදී මේ වන විට එංගලන්තයේ සරණාගතයෙකු ලෙස දිවි ගෙවන බොක්සිං  ක්‍රීඩිකා සින්ඩි විනර් විසිනි. මේ නිසා ක්‍රීඩා උළෙලට සහභාගිවූ රටවල් රැසක් අභිබව්මින් සරණාගත කණ්ඩායම  පැරිස්  ඔලිම්පික් උළෙලේ  84 වැනි ස්ථානය ලැබීය. 

දකුණු  ආසියාවටම එකම රන් පදක්කම  ඔලිම්පික් වාර්තාවක් සමග දිනා දුන් පාකිස්තානයේ   හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක අර්ෂාඩ් නජීම් මේ වන විට එරට විරුවෙකු බවට පත්ව සිටියි. ඊට වඩාත්ම හේතුවක්වී ඇත්තේ   ඔලිම්පික් රන් පදක්කමක් පළමු වතාවට මලල ක්‍රීඩා ඉසව්වකින් පාකිස්තානය දිනා ගැනීමේදී ඔහු වෙතින් පරාජය වූයේ ඉන්දියානුවෙකු වීමය. 

මොහු ටෝකියෝ (2020)  ඔලිම්පික්  හෙල්ල  විසි කිරීමේ රන් පදක්කම්ලාභී   නිරාජ් චොප්රා  වීම තුළ පාකිස්තානුවන් නජීම්ට මෙම ජයග්‍රණය හමුවේ දක්වන ගෞරවය  අසීමිත බවක් ගෙන තිබේ.

කෙසේවූවත්  මෙම  රන් පදක්කමෙන් රටවල් ගණනාවම පසු කරමින් ඉදිරියට පැමිණ පදක්කම් සටහනේ  62 වැනි ස්ථානයට පැමිණීමට පාකිස්තානය සමත් විය. ඉන්දියාව රිදී  පදක්කමක් හා ලෝකඩ පදක්කම් තුනක් දිනා එහි 71 වැනි ස්ථානයට පත් විය.

එළඹෙන (2028) 34  වැනි නූතන  පැරිස්  ඔලිම්පික්  උළෙල  එක්සත්  ජනපදයේ ලොස් ඇන්ජලීස්  නුවරදී පැවැත්වේ.ඊට පළමු වතාවට විස්සයි - 20 ක්‍රිකට් ක්‍රීඩාවද ඇතුළත් කර තිබේ.  ඇමරිකාව ඔලිම්පික්  උළෙලක සත්කාරය දරන්නේ 1984 න් පසුවය.එයද ලොස් ඇන්ජලීස් නුවරදීම පවත්වා ඇත.


අදහස් (0)

අතුරුදන් නොවීමෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.