Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණයෙන් පත්වූ නව විධායක සභාවට එහි ලිපිගොනු හා පරිගණක මුරපද ලබාදීම හිටපු පරිපාලනය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික පාපැදි සම්මේලනය දැනුවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
හිටපු පාපැදි නිලධාරීන් චෝදනා කරන්නේ අප්‍රේල් 6 වැනිදා පැවැති ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණයට ක්‍රීඩා අමාත්‍යාංශය අනිසි මැදිහත්වීම් කළ බවයි. එහිදී නිලවරණ කමිටුව මධ්‍යස්ථ නොවීමෙන් නිලවරණයේ සමස්ත ප්‍රතිඵලයට බලපෑමක් එල්ල වූ බවටත් හිටපු පරිපාලනය වැඩිදුරටත් චෝදනා කරයි. එහෙත් ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසන්නේ අප්‍රේල් 6 වැනිදා පැවැති පාපැදි සම්මේලනයේ නිලවරණයට කිසිදු අයුරකින් රාජ්‍ය මැදිහත්වීමක් සිදු නොවූ බවට අන්තර්ජාතික පාපැදි සම්මේලනයට ලියා දැන්වීමට කටයුතු කරන බවයි.
“නිලවරණය මෙහෙයවූයේ ඒ සඳහාම පත්කළ නිලවරණ කමිටුව මිසක් ක්‍රීඩා අමාත්‍යාංශය නොවෙයි. ඒ නිසා හිටපු නිලධාරීන්ගේ චෝදනාව පදනම් විරහිතයි” යයි ද ඔහු පැවැසීය.
ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසුවේ සිය කරුණු දැක්වීමට අන්තර්ජාතික පාපැදි සම්මේලනය දක්වන ප්‍රතිචාරය මත දැන් උද්ගත වී තිබෙන ප්‍රශ්නයට ක්‍රීඩා අමාත්‍යාංශය සුදුසු පියවර ගන්නා බවයි.
කෙසේ වුවත් හිටපු පරිපාලන නිලධාරීන් සිය චෝදනාව මේ වනවිට අන්තර්ජාතික පාපැදි සම්මේලනයට ඉදිරිපත් කරමින් එහි පිටපතක් ආසියානු පාපැදි සමුළුවට හා ජාතික ඔලිම්පික් කමිටුව වෙත ද යොමුකර තිබේ.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු සභාපති, අන්තර්ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා පැවැසුවේ නිලවරණය මෙහෙයවන කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත්වීම මගින්ම එම අනිසි මැදිහත්වීම තහවුරු කර ඇති බවයි.
“දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා ඇමැති ධුරය දරන කාලයේදීත් පාපැදි සම්මේලනයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශය බාරයේ සිදු කෙරුණා. නමුත් ඔහු නිලවරණ කමිටුව පත්කිරීම පැවැරුවේ එවකට කටයුතු කළ පාපැදි පරිපාලනයටයි. ඒත් ක්‍රීඩා අමාත්‍යාංශය මෙදා පත් කළ නිලවරණ කමිටුවට නිලවරණය මෙහෙයවීම සම්බන්ධයෙන් නිසි වැටහීමක් තිබබෙ නෑ. එහි ආසන්නතම ප්‍රතිඵලයක් වුණේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිල නාමලේඛනයට අයත් ඇතැම් ක්‍රීඩා සමාජ හා සංගම් නිලවරණයෙන් ඉවත් කරලා එහි නැති සමහර ක්‍රීඩා සමාජ නිලවරණයට ඇතුළු කරගැනීමයි“ යයි කරුණාරත්න මහතා පැවසීය.
“ඒ විතරක් නෙමෙයි. රහස් ඡන්දයක් වුණත්, අපේක්ෂකයන්ට මනාපය ප්‍රකාශ කරන ඡන්ද පත්‍රිකා සලකුණු කිරීමේදී නියෝජිතයන්ට තමන්ගේ නම හා ක්‍රීඩා සමාජය එහි සටහන් කළ යුතු බවටත් උපදෙස් ලැබුණා. එය රහස් ඡන්දයකදී ඡන්දය දෙන්නන්ගේ අනන්‍යතාවය අනතුරේ හෙළීමක් වෙනවා” යයි ද කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.
කෙසේ වෙතත් පාපැදි සම්මේලනයේ නව විධායක සභාව, තේරී පත්වූ සභාපති එච්.එල්. ක්‍රිෂාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අවස්ථා කිහිපයකදීම රැස්වූ බවත් එහිදී අනුකමිටු සඳහා නාමයෝජනා නිර්දේශ කරගත් බවත් වාර්තා වේ. එම අනුකමිටු අනුමත කරගැනීම ඉදිරියේදී කැඳවෙන විශේෂ මහ සභා රැස්වීමකදී සිදුකරගැනේ.
අප්‍රේල් 6 වැනිදා පත්වූ පාපැදි සම්මේලනයේ නව විධායක සභාවේ කාලසීමාව වසරක කාලයකට පමණක් සීමා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.