Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු ක්‍රීඩා සංචාරයට දෙන්න සල්ලි නෑ කියයි

ආසියානු ක්‍රීඩා සංචාරයට දෙන්න සල්ලි නෑ කියයි

editorial - 2023 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

චීනයේ හංජෝ නුවර දී ලබන සැප්තැම්බර් 23 වැනිදා ආරම්භ වන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ (2022) ශ්‍රී ලංකා සහභාගිත්වයේ වියදම් දැරීම ක්‍රීඩා අමාත්‍යාංශයට අසීරු කටයුත්තක් බැවින් ඒ සඳහා  විකල්ප ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික ඔලිම්පික් කමිටුවට ක්‍රීඩා අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් වියදම් ලබා ගැනීමට දැරූ උත්සාහයන් අසාර්ථකවීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යාංශය මෙම දැනුම්දීම කර ඇතැයි ද වාර්තාවේ.

‘හංජෝ’ ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 22 වැනිදා ආරම්භ වී ඔක්තෝබර් 8 වැනිදා දක්වා හංජෝ ඇතුළු චීනයේ නගර පහක දී පැවැත්වේ. එය පසුගිය වසරේ දී පැවැත්වීමට නියමිතව තිබිය දී වසරකින් කල් දැමීමට හේතු වූයේ සත්කාරක චීනයේ නැවත කොවිඩ් වසංගතය හිස එසවීම හේතුවෙනි.

ජාතික ඔලිම්පික් කමිටු ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට ක්‍රීඩා ඉසව් 22කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනකු හා පුහුණුකරුවන් ඇතුළු  පරිවාර නිලධාරීන් 25 දෙනකුගෙන් පමණ සමන්විත ශ්‍රී ලංකා සමස්ත ක්‍රීඩා කණ්ඩායමක් ඒ සඳහා සහභාගි කිරීමට සැලසුම් සූදානම් කර තිබේ.

එහිදී ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා රුපියල් මිලියන 75කට ආසන්න වියදමක් දැරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. හංජෝ’ ආසියානු ක්‍රීඩා ගම්මානයේ ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් අයෙකුගෙන් දිනක් සඳහා ඇමරිකානු ඩොලර් 50ක ගෙවීමක් කළ යුතුය. ඒ අනුව දින 10ක් එහි රැඳී සිටින ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් අවම වශයෙන් ඩොලර් 500ක ගෙවීමක් කළ යුතුය. ඒ අනුව සංචාරක ශ්‍රී ලකා කණ්ඩායම් එකතුව අවම 100ක් වන්නේ නම් ඒ සඳහා ඩොලර් 50000ක් හෙවත් ශ්‍රී ලංකා අද රුපියලේ වටිනාකමින් 16500000 (එක්කෝටි හැටපන් ලක්ෂයක්) වන වියදමක් දැරිය යුතුය.

ශ්‍රී ලංකාවේ ‘හජෝ’ ආසියානු ක්‍රීඩා උළෙලේ සහභාගිත්වය පිළිබඳව ‘ලංකාදීප’ය කළ විමසුමක දී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා මෙසේ පැවසීය.

‘‘ශ්‍රී ලංකාව සමස්ත කණ්ඩායම් දළ සහභාගිත්වයේ සැලැස්මක් අද (16) දිනය අවසන්වීමට පෙර ‘හංජෝ’ තරග සංවිධායකයන්ට ලබාදිය යුතුයි. ලබන ජුලි 10 වන විට ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගිත්වය අවසන් වශයෙන් ලබාදිය යුතුයි.

ක්‍රීඩා අමාත්‍යාංශය අපට දැනුම් දීලා තිබෙනවා මේ වෙලාවෙ වියදම් ලබාදීම ඔවුන්ට දුෂ්කර කටයුත්තක් කියලා. ඒකට විකල්පයක් හැටියට සහභාගි වන කණ්ඩායම උපරිමයෙන් අඩු කරලා ගෙනියන්න කියලා උපදෙස් ලබාදීලා තිබෙනවා.

නමුත් ජාතික ඔලිම්පික් කමිටුව උත්සාහ කරන්නේ රටේ වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට ඒ සඳහා අවස්ථාව උදා කර දෙන්නයි. මේ වෙනකොට අපට ක්‍රීඩා උළෙලේ දී අවම ලෝකඩ පදක්කම් කිපයක් කෙරෙහි විශ්වාසය තැබිය හැකියි.

‘හංජෝ’ ආසියානු ක්‍රීඩා උළෙලට ඇතුළත් ක්‍රීඩා ඉසව් මුළු ගණන 40කි. ආසියානු ක්‍රීඩා උළෙලේ නියෝජනය රටවල් 45කි. 2010 දී ‘ගුවැන්ෂු’ නගරයේ සත්කාරයෙන් පසුව මහජන චීනය ආසියානු ක්‍රීඩා උළෙලක සත්කාරය දරන පළමු අවස්ථාව මෙයයි.

වසර 2018 අවසන් වරට ජකර්තා නුවරදී පැවති 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව කිසිදු පදක්කමක් දිනා ගැනීමට අපොහොසත් විය.

1951 දී මෙම ක්‍රීඩා උළෙල ආරම්භයෙන් පසුව ශ්‍රී ලංකාව මේ දක්වා රන් පදක්කම් 11ක් රිදී පදක්කම් 11ක් හා ලෝකඩ පදක්කම් 24ක් දිනා ඇත. එම රන් පදක්කම් 11න් 10ක්ම මලල ක්‍රීඩාවෙන් දිනා ඇත.

ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු  ක්‍රීඩා උළෙලක දී (2014-ඉන්චීයොන්) දිනා ගත් රන් පදක්කම (විස්සයි-20) ක්‍රිකට් (පිරිමි) ඉසව්වෙන් අත්කර ගෙන ඇත. ඒ චරිත් අසලංකගේ නායකත්වයෙනි. එහිදී ක්‍රිකට් (කාන්තා) ඉසව්වෙන් ද ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් ලැබීය. 1982 (නව දිල්ලි), 1978 (බැංකොක්), 2010 (ගුවැන්ෂු) ශ්‍රී ලංකාව කිසිදු පදක්කමක් දිනා ගැනීමට අපොහොසත් වූ සෙසු ආසියානු ක්‍රීඩා උළෙලය.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට ද විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර තිබේ.


අදහස් (0)

ආසියානු ක්‍රීඩා සංචාරයට දෙන්න සල්ලි නෑ කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.