Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්ත තේරීම් ලොක්කා විසිවෙයි

එංගලන්ත තේරීම් ලොක්කා විසිවෙයි

editorial - 2021 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් ජාතික තේරීම්කමිටු ධුරය ඉවත් කර තිබේ. මේ වනවිට තේරීම් කමිටු ප්‍රධානීයා ලෙස කටයුතු කරන එඩ් ස්මිත් මහතා මේ මස අවසානයේදී සිය ධුරයෙන් ඉවත් වීමට නියමිතව ඇත.

නවතම තත්ත්වය අනුව ජාතික සංචිත තෝරා ගැනීමේ වගකීම ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාට පැවරෙන අතර  ටෙස්ට් සහ සීමිත ඕවර කණ්ඩායම්හි නායකයන් වන ජෝ රූට් සහ ඔයින් මෝගන් ක්‍රීඩා කරන එකොළොස් දෙනා තෝරා ගැනීමට ඔහුට සහායවනු ඇත.

එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ කළමනාකාර අධ්‍යක්ෂ ඈෂ්ලි ජයිල්ස් මහතා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සිල්වර්වුඩ්ට වැඩි වගවීමක් ලබා දීමට මෙම ක්‍රමය සකස් කර තිබේ. මීන් පෙර, තේරීම් භාරව එඩ් ස්මිත් මහතා කටයුතු කළ අතර ක්‍රිස් සිල්වර්වුඩ් සහ ජේම්ස් ටේලර් අනෙක් තේරීම් කමිටු නිලධාරීන් දෙදෙනා ලෙස කටයුතු කළහ.

“පසුගිය වසර තුන තුළ එංගලන්ත කණ්ඩායම් තෝරා ගැනීම සඳහා එඩ් දැක්වූ දායකත්වය ගැන මම පෞද්ගලිකව ස්තූතිවන්ත වෙනවා. එංගලන්ත කණ්ඩායම් තෝරා ගැනීමේ වර්තමාන ක්‍රියාවලිය වසර 120 කට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා” යැයි ඈෂ්ලි ජයිල්ස් මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.

“වෙන කවරදාකටත් වඩා තාක්ෂණයේ දියුණුවත්, තොරතුරු රැස්කිරීමේ සම්පත් සමඟ මෙම ප්‍රතිව්‍යුහගත කිරීම මගින් එංගලන්ත කණ්ඩායම් වඩාත් සාර්ථක කර ගැනීම අපේ අපේක්‍ෂාවයි” යයිද එම නිවේදනයේ සටහන් වේ. නව ව්‍යුහය මගින් වගවීමේ රේඛා වඩාත් පැහැදිලි වන බවත්, ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එංගලන්තයේ ජ්‍යෙෂ්ඨ සංචිත තෝරා ගැනීමේ අවසාන වගකීම දරනු ඇති බවත් ජයිල්ස් මහතා වැඩිදුරටත් පැවසීය.

ජාතික තේරීම් කමිටු ප්‍රධානියා ලෙස එඩ් ස්මිත් සිටියදී 2019 දී එංගලන්තය එක්දින ලෝක කුසලානය දිනා ගත්තේය. කෙසේ වෙතත්, පසුව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සංචාරයන්හිදී ඔවුන්ගේ හොඳම ක්‍රීඩකයින් තෝරා නොගැනීම හේතුවෙන් තේරීම් කමිටුව දැඩි කතාබහකට ලක් විය. ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගත් නමුත් ඉන්දියාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී එංගලන්තය පරාජය විය.

2018 දී කළමණාකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ඇන්ඩෘ ස්ට්‍රෝස් මහතා විසින් එඩ් ස්මිත් ප්‍රධාන තේරීම් කමිටු නිලධාරියා ලෙසින් පත් කරන ලද අතර පසුගිය වසර තුනක කාලය තුළ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව සමඟ කටයුතු කිරීම පිළිබඳව ඔහු සිය කෘතඥතාව පළ කළේය.

නවසීලන්තයට එරෙහිව ලෝඩ්ස් සහ එජ්බැස්ටන්හිදී පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය එංගලන්තයේ මීළඟ ජාත්‍යන්තර පැවරුමයි.

- 2079

 


අදහස් (0)

එංගලන්ත තේරීම් ලොක්කා විසිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.