Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔලිම්පික් කමිටු නිලවරණය අද

ඔලිම්පික් කමිටු නිලවරණය අද

editorial - 2021 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වඩා බලවත් වන්නේ රටේ ක්‍රීඩා නීතිය ද ජාත්‍යන්තර ක්‍රීඩා නීතිය ද පිළිබඳව දැකබලාගත හැකි ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අද (28 වැනිදා) පස්වරු 5.00ට ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

එහිදී සභාපති ධුරය සඳහා වත්මන් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් සහ එහි උප සභාපතිවරයකු වන මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු තරග වදිති.

ඔවුන්ගේ නායකත්වයෙන් සමන්විතව පාර්ශ්ව දෙකක් විධායක සභාවේ තනතුරු 12ක් සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් අද පැවැත්වෙන නිලවරණයේදී ප්‍රධාන තනතුරු රැසක් සඳහා ඡන්ද විමසීම කෙරේ. ඒ සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික ක්‍රීඩා සංගම් 31ක් හැරුණු විට එහි ක්‍රියාත්මක ක්‍රීඩකයන්ගේ කමිටුව ද සහභාගි වේ. එහිදී ක්‍රීඩකයන්ගේ කමිටුවට පමණක් ඡන්ද දෙකක් ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වේ.

ක්‍රීඩකයන්ගේ කමිටුව වෙනුවෙන් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව පිහිනුම් ක්‍රීඩිකා රෙෂිකා උඩුගම්පොලට හා ජුඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධනට හිමිව තිබේ.

මේ අතර, ක්‍රීඩක අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් නිලවරණය පවත්වා ඇති ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සහ ශ්‍රී ලංකා අත් පන්දු (හෑන්ඩ් බෝල්) සම්මේලනය පැවැරූ නඩුවක් සලකා බැලූ කොළඹ දිසා අධිකරණය, අද පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී එම සම්මේලන වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව නව විධායක සභාවේ නියෝජිතයන්ට ලබාදෙන ලෙස නියෝග කර තිබේ. ඊට හේතු වූයේ, ජාතික ඔලිම්පික් කමිටුව තවදුරටත් එහි ජාතික ක්‍රීඩා සංගම් දෙකේ නිල පරිපාලන ඒකක ලෙස එහි හිටපු විධායක සභා පිළිගන්නා බැවින්, කමිටුව මෙවර නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඔවුන්ට ලබාදීමට තීරණය කර තිබෙන බැවිනි.

කෙසේ වුවත්, මෙම ප්‍රශ්නය ඊයේ පස්වරුව වන විටත් නිරාකරණය නොවී තිබුණු බව වාර්තා වේ. මෙම ප්‍රශ්නය ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය වෙනුවෙන් ද උද්ගත වුවත්, ඔවුන් එය වෙනත් ආකාරයකින් විසඳාගෙන තිබේ.

එහිදී නිලවරණ මහ සභාව නියෝජනය කිරීමේ අවස්ථාව එහි වත්මන් සභාපති නේතෲ නානායක්කාර මහතාට හිමිව තිබේ. කෙසේ වුවත්, ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව මෙවර හිමිව තිබෙන්නේ, ජල ක්‍රීඩා සංගමයේ හිටපු විධායක සභාවටය. ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්නේ, සුමුදු ලියනගේ මහත්මියයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ආචාර්ය ආර්.එම්.කේ. රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් නිලවරණ කමිටුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සහභාගි කරගන්නා ජාතික ක්‍රීඩා සංගම් නියෝජිතයන්ගේ නාම ලේඛනය මෙම උසාවි නියෝගය නිකුත් කරන විටත් නිර්දේශ කර අවසන්ව තිබූ බව වාර්තා වේ.

මේ අතර, ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුවේ නිලවරණය කැඳවීමේදී උද්ගතව තිබෙ බව පැවැසෙන ගැටලු කිහිපයක් පිළිබඳව ඊයේ (27 වැනිදා) අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන් සමග ‘සූම්’ තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කළ බව ද වාර්තා වේ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් සභාව අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුවේ නිලවරණය ‘සූම්’ තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමට නියමිතය.

අද පැවැත්වෙන නිලවරණය යළිත් ජය ගන්නා තමන් මීළඟ සිවු වසරක නිල කාලය තුළදී තවත් ඔලිම්පික් පදක්කමක් දිනා ගන්නා ශ්‍රී ලාංකිකයකු බිහි කරන බව සභාපති අපේක්ෂක සුරේෂ් සුබ්‍රමනියම් මහතා පවසයි. පසුගිය සිය සිවු වසරක නිල කාලය තුළදී ඔලිම්පික් කමිටුව රුපියල් මිලියන 200 ක ස්ථාවර තැන්පතුවක් එක් කර දීමට තමාට හැකි වූ බවත් ඔහු එහිදී පැවැසීය.
 

මේ අතර, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ වත්මන් සභාපතිවරයකු වන පාලිත ප්‍රනාන්දු මහතා පැවැසුවේ, නිලවරණයෙන් ජයග්‍රහණය කරන තමන්ගේ ඉදිරි වැඩපිළිවෙළ එයින් පසුව ප්‍රකාශයට පත් කරන බවයි.

වත්මන් මහ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා තෙවැනි වතාටත් එම ධුරයට තරග වදින අතර, හිටපු මහ ලේකම්වරයකු වන විශ්‍රාමික කොමදෝරු එච්.යූ. සිල්වා මහතා කමිටු සාමාජික තනතුරක් සඳහා මෙවර තරග වදියි.

ඒ අතර, හිටපු උප සභාපතිවරයකු වන ඩයන් ගෝමස්, ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ වත්මන් සභාපති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ උප සභාපති ධුර නාමයෝජනා ඇතුළු නාමයෝජනා හතරක් ප්‍රතික්ෂේප විය. ඒ අතර, වත්මන් උප සභාපතිවරයකු වන අසංග සෙනවිරත්න මහතා මෙවරත් ඒ සඳහා ඉදිරිපත් වෙමින් අවසන් මොහොතේ නාමයෝජනා ඉවත් කරගත්තේය. ඔහු ශ්‍රී ලංකා බේස් බෝල් සංගමයේ වත්මන් සභාපතිවරයායි.

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය, ශ්‍රී ලංකා කරාටේ දෝ සංගමය හා ශ්‍රී ලංකා සුළං ඔරු සංගමය යන ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික සංගම් තුනකට මෙවර නිලවරණයේදී ඡන්ද බලය හිමි නොවේ.

බේස්බෝල් හා කරාටේ යන කී‍්‍රඩා ඉසව් 2024 ඔලිම්පික් උළෙලට නිර්දේෂ නොවීමත්, සුළං ඔරු සංගමය රෙගුලාසිවලට අනුව කටයුතු නොකිරීමත් යන කාරණා මත මෙම තීරණය ගෙන තිබේ.
 

ජාතික ඔලිම්පික් කමිටුවේ 2022-26 නිලවරණය සඳහා පිළිගත් නාමයෝජනා

සභාපති ධුරයට:-
සුරේෂ් සුබ්‍රමනියම් (ටෙනිස්) හා මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු (මලල ක්‍රීඩා) යන මහත්වරු.

මහලේකම් ධුරයට:-
මැක්ස්වල් ප්‍රියන්ත ද සිල්වා (ජුඩෝ) හා මොහාන් විජේසිංහ (බැඩ්මින්ටන්) යන මහත්වරු.

උප සභාපති ධුර (4):-
ප්‍රීති විරාජ් පෙරේරා (කැනොයින් හා කයාකින්), කාංචන ජයරත්න (වොලිබෝල්), නිලු ජයතිලක (ගොල්ෆ්), සුරංජිත් ප්‍රේමදාස (අසුන් පිට යාම), රිෆ්ඩි පහාමි (රග්බි), ජෝශප් කෙනී (රුවල් ඔරු) යන මහත්ම මහත්මීහු.

භාණ්ඩාගාරික ධුරයට:-
ගාමිණී ජයසිංහ (හොකී) සහ අජිත් සියඹලාපිටිය (කඩු හරඹ) යන මහත්වරු.

උප ලේකම් ධුරයට (නිතරගයෙන්):-
චන්දන ලියනගේ මහතා (පැසිපන්දු).

උප භාණ්ඩාගාරික ධුරයට (නිතරගයෙන්):-
ෂිරන්ත පීරිස් මහතා (ඉලක්කයට වෙඩි තැබීමේ).

කමිටු සාමාජික ධුර (3):-
පෙරුමාල් විශ්වනාදන් (හොකී), විශ්‍රාමික කොමදෝරු එච්.යූ. සිල්වා (දුන්නෙන් විදීම), නීල් පෙරේරා (රෝද සපත්තු), සරත් හේවාවිතාරණ (මල්ලවපොර), රුවන් සම්පත් අලහකෝන් (තුන්ප්‍රයාම) යන මහත්වරු.


අදහස් (0)

ඔලිම්පික් කමිටු නිලවරණය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.