Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔලිම්පික් කමිටුවට රෙගුලාසි දාන්න ක්‍රීඩා අමාත්‍යංශයට අයිතියක් නෑ

ඔලිම්පික් කමිටුවට රෙගුලාසි දාන්න ක්‍රීඩා අමාත්‍යංශයට අයිතියක් නෑ

editorial - 2022 දෙසැ මස 21 179 Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

නව ක්‍රීඩා රෙගුලාසි ක්‍රීඩා ඇමැතිවරයා හා ක්‍රීඩා අමාත්‍යාංශය රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ පැන නැගෙමින් පවතින ගැටළුවලින් ඇඟ බේරා ගැනීමට සකස් කළ එකක් බවත් ජාතික ඔලිම්පික් කමිටුවට රෙගුලාසි පැනවීමට ක්‍රීඩා අමාත්‍යාංශයට අයිතියක් නැති බවත් එහි සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවසීය.

ලංකාදීපය කළ විමසුමකදී අදහස් දැක්වූ සුබ්‍රමනියම් මහතා රටේ ක්‍රීඩා නීතියට තවදුරටත් ගරු කරමින් කටයුතු කළද, ජාතික ඔලිම්පික් කමිටුවට අවසානයේ වගවන්නේ අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට පමණක් බවත් පැවසීය.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 41වැනි වගන්තිය යටතේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් පනවන ලද නියෝග පිළිබඳව අදහස් දක්වමින් ඔහු එසේ පැවසීය.

එම නව රෙගුලාසි මාලාවේ ‘ධුර කාලය’ පිළිබඳව දැක්වීමේදී ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන තනතුරු නිලධාරීන්ට දැරිය හැකි උපරිම කාල සීමාවන් පිළිබඳවද දක්වා තිබේ.

මේ අතර ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා පවසන්නේ ක්‍රීඩා තනතුරු දැරීමේ වයස් සීමාව අවුරුදු 70කට සීමා කිරීම මතභේදාත්මක බවයි.  ගරු සේවයක් කරන ක්‍රීඩා නිලධාරියකු හෝ නිලධාරිනියකට වයස් සීමාවක් පැනවීමට ක්‍රියා කිරීම මානව හිමිකම් ප්‍රශ්නයකට ඉදිරියේදී තුඩු දිය හැකි බවත් ඔහු එහිදී පැවසීය.
සුරේෂ් සුබ්‍රමනියම් මහතා මෙසේද පැවසීය.

‘දැන් රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ පැන නැගිලා තිබෙන ප්‍රශ්න දිනා බැලුවම ක්‍රීඩා ඇමැතිවරයාට මීට වඩා කරන්න දේවල් තිබෙනවා. අපි රටේ ක්‍රීඩා නීතියට ගරු කරනවා. ඒක අපි පසුගිය කාලයේදී ක්‍රියාවෙනුත් පෙන්නලා දීලා තිබෙනවා.

මේක වැඩිපුරම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉලක්ක කරල හදපු රෙගුලාසි මාලාවක් වගේ බැලූ බැල්මට පේන්නෙ. ක්‍රීඩා ක්ෂේත්‍රයේ හොරකම් දූෂණ වැඩකරන නිලධාරීන් පිරිසකුත් ඉන්නවා. හැබැයි අනුගත වෙලා ඉන්න හැම නිලධාරියෙක්ම එහෙම නෑ. නමුත් මේකෙන් ක්ෂේත්‍රයේ ඉන්න හොඳ නිලධාරීන්ටත් පීඩනයක් ඇති කරලා තිබෙනවා.

ජාතික ඔලිම්පික් කමිටුව මේවට කලබල වෙන්නේ නෑ. කලින් කරගෙන ගිය විදියටම අපේ කටයුතු පවත්වාගෙන යනවා. ඒ සඳහා අපි අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවෙන් උපදෙස් ලබා ගන්නවා.

මේ අතර නව රේගුලාසි හමුවේ නිලධාරීන්ට ක්‍රීඩා තනතුරු දැරිය හැකි උපරිම වයස් සීමාවක් පැනවීම තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු රටේ ජාතික ක්‍රීඩා සංගම් බහුතරය දැනට ප්‍රධාන නිලයක් දරන්නන්ට තනතුරු අත්කර දැමීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.

ඒ මීළඟ නිලවරණයට ඉදිරිපත් වනවිට ඔවුන් වයස 70 ඉක්මවා තිබෙන බැවිනි. එහිදී වාර්තා වන්නේ වයස 70ට වැඩි පුද්ගලයන්ට දේශීය ක්‍රීඩා තනතුරු දැරීම තහනම් කරමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පනවා තිබෙන රෙගුලාසියට එරෙහිව ජාතික ක්‍රීඩා සංගම් රැසක නිලධාරීන් මානව හිමිකම් කොමිසමට එරෙහිව විශ්ෂයෙන්ම පැමිණිලි ගොනු කිරීමට සූදානම්ව සිටින බවයි.

ඒ අතර අධිකරණයේ නඩු පැවරීමට ද පාර්ශ්ව කීපයක් දැනටමත් නීතිඥ ප්‍රජාව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ. දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා ඇමැතිධුරය දැරූ සමයේදීත් (2016-18) ක්‍රීඩා තනතුරු දැරීමේ පුරවැසියන්ගේ උපරිම වයස් සීමාව 70ක් කිරීමට සංශෝධන ගෙන ආවත් එල්ල වූ විරෝධයන් හා මානව හිමිකම් පැමිණිලි හමුවේ එය අත්හිටුවීමට ඇමතිවරයා කටයුතු කළේය.


අදහස් (0)

ඔලිම්පික් කමිටුවට රෙගුලාසි දාන්න ක්‍රීඩා අමාත්‍යංශයට අයිතියක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.